Saturday, March 02, 2013

෴Y1 දුම්රිය එන්ජිම - තවත් සාඩම්බර ශ්‍රී ලාංකික නිපැයුමක්෴

මෙවර ලිපිය වෙන් වනුයේ මෙරට දුම්රිය සේවයේ තවත් එක් සුවිශේෂි සන්ධිස්ථානයක් සටහන් කල නිමැවුමක් පිලිබඳව විස්තර ගෙන ඒමේ අරමුණෙනි. ඒ බොහෝ දෙනෙකු සැබැවින් දැක නැති Y1 ධාවන පන්තියේ ෂන්ටින් එන්ජිමයි. මෙම එන්ජිමද මෙරට තවත් ඉතා සාඩම්බර නිපැයුමක් වීම මෙරට දුම්රිය ලෝලින්ටනම් මහත් වූ අභිමානයකි. මේ එම ෂන්ටින් එන්ජිම පිළිබඳව සටහනයි.
  • · දුම්රිය පන්තිය                      - Y1 
  • · නිපදවූ වර්ෂය                       - 1972 
  • · නිශ්පාදිත රට                        - ශ්‍රී ලංකාව 
  • · දුම්රිය එන්ජින් වර්ගය           - Diesel Hydraulic 
  • · බල සැපයුම් එන්ජිම              - Paxman V12 YJXL 
  • · උපරිම බලය                         - 1080hp - 1600RPM 
  • · උපරිම වේගය                       - 48km/h 
  • · Axle Arrangement                 - 0-8-0 
  • · බර                                       - 52 Tons 
  • · වර්ණය                                 - අඳුරු නිල් පැහැය 
  • · එන්ජිමේ දිග                          - අඩි 31 අඟල් 5 
  • · දුම්රිය එන්ජින් ගණන            - 7 (No 722 -728) 
මෙරට මුල්ම වරට දුම්රිය එන්ජිමක් නිපදවන ලද්දේ වර්ෂ 1956දී බව ඔබ M3 එන්ජිම පිලිබඳ ලිපියේදී කියවන්නට ඇත. එම එන්ජිම නිපදවා වසර කිහිපයකින්ම සේවයෙන් ඉවත්ව ගොස් ඇත්තේ දිගුකල් ධාවනයට ගැලපෙන පරිදි නිපදවා නොතිබු නිසා බව කියවේ. විශේෂයෙන්ම එම එන්ජිම නිපදවා තිබුනේ ෂන්ටින් කටයුතු සඳහා වුවත් මගි ප්‍රවාහන කටයුතු වෙනුවෙන් යොදවන්නට සිදුවුන වුන බව මේ වන විට ඔබ දන්නා කරුණකි. ඒ එය මෙරට දුම්රිය වංශ කතාව නව මානයකට යොමුකල ගමනක මුල් පියවර සටහන විය. 

ඒ කෙසේ වුවද එතැනින් පටන්ගත යුතුව තිබූ මෙරට දුම්රිය නිෂ්පාදන කටයුතු එතනින් ඔබ්බට ගියේ ඉන් වසර 16කට පමණ පසුව වීම නම් අභාග්‍යයකි. මෙසේ ආසන්න දශක දෙකක පමණ කලකට පසුව නැවතත් මෙරටදී දුම්රිය එන්ජින් කිහිපයක් නිපදවීමේ භාරදූර්ය කාර්යට අතගසන්නට අපේ දුම්රිය ඉංජිනේරුවන් කටයුතු කරන ලදී. ශ්‍රී ලාංකිය දුම්රිය වංශකතාවේ සැඟවුනු පරිච්ඡේදයන් ගවේශනය කරන නලින් අබේසිංහ මහතා පවසන ආකාරයට ඒ සඳහා මග පෑදී ඇත්තේ මෙසේය. 

M3 එන්ජිම නිපදවීමට මුල් වූයේ S1 බලවේග කට්ටලය ධාවනයෙන් ඉවත් වීම සේම, මෙම Y1 එන්ජින් නිපදවීම සඳහා අදහස ජනිත වන්නේ ඒ වන විට භාවිතයෙන් ඉවත්වෙමින් තිබූ G2 පන්තියේ ෂන්ටින් එන්ජින් නිසාය. යම් යම් හේතු මත ඒවා ධාවනයෙන් ඉවත් වෙමින් පැවතුනි. එහෙත් ඒවායේ බලසැපයුම් එන්ජින් බෙහොමයක් ඒ වන විටත් හොඳ තත්වයේ පැවතිම නිසා සේවයෙන් ඉවත් වන එම G2 පන්තියේ ෂන්ටින් එන්ජින් 8හි ඇති බලසැපයුම් එන්ජින් යොදාගෙන Y1 පන්තියේ ෂන්ටින් එන්ජින් 8ක් නිපදවීමට බලධාරින් අදහස් කරන ලදී. ඒ අනුව එන්ජින් 8ක් නිපදවීමට පිඹුරුපත් සැකසෙමින් පැවතින. තත්වය එසේ වුවද වසර 20ක් පැරණි එන්ජින් යොදාගෙන නව දුම්රිය එන්ජින් නිපදවීම ඵලදායි නොවන කටයුත්තක් බව දුම්රිය නිලධාරින්ට වැටහී යන්නට ඇත. පැරණි බලසැපයුම් එන්ජින් සඳහා අමතර කොටස් සොයාගත නොහැකි වීමද බරපතල ගැටලුවක් වන්නට ඇත. 

ඒ අනුව වසර 20ක් පැරණි බලසැපයුම් එන්ජින් වෙනුවට නව බලසැපයුම් එන්ජින් යොදා මෙම එන්ජින් නිපදවීම සිදු විය. එහෙත් එහිද යම් ගැටලුවක් විය. එනම් G2 ගණන 8ක් නිසා මුල් සැලසුමට අනුව Y1 එන්ජින් 8ක් නිපදවිය යුතු වුවද නිපදවනු ලැබූ මුලු Y1 ගණන වුයේ 7කි. 

එහි ඇති වඩාත්ම වැදගත් කරුණ වන්නේ එසේ අලුත් බලසැපයුම් එන්ජින් මිලදී ගත්තානම් 8ක් මිලදී නොගෙන 7ක් පමණක් ගෙනාවේ ඇයිද යන්නයි. එයට විසඳුමක් ලෙස ඇති මතයක් වන්නේ එම එන්ජින් හත දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මිල දී ගත් ඒවා නොවන අතර ඒ වන විට සේවයට එක් වී තිබූ W1 පන්තියේ එන්ජින් සමග ලැබුණු අමතර බලසැපයුම් එන්ජින් හතක් බවයි. කෙසේ වුවද එය තහවුරු කර නොමැති කරුණකි. 

මෙරට නිපදවූ මෙම එන්ජින් එවකට දුම්රිය ක්ෂේත්‍රෙයේ මහත් ප්‍රබෝධයක් ඇති කරලීමට ඉවහල් වී ඇත. එවකට පුවත් පත් වල පවා මෙම එන්ජින් නිපදවීම ගැන ලිපි පලකර තිබේ. ෂන්ටින් කටයුතු සඳහා විශේෂයෙන් නිපදවූවද ෂන්ටින් කටයුතු වලට අමතරව ප්‍රාදේශිය දුම්රියන් ධාවනය කරවීමට පවා මෙම එන්ජින් යොදාගෙන ඇත. 

දැන් අපි මෙහි ඇති වඩාත්ම ආන්දෝලනාත්මක කරුණ දෙසට හැරෙමු. බොහෝ දෙනා විශ්වාස කරන පරිදි මෙම එන්ජින් වනුයේ අංක 721 සිට 727 දක්වා, ලෙසින් එම Y1 එන්ජින් 07 තිබුණු බවයි. දුම්රිය කෞතුකාගාර වෙබ් අඩවියේ ඇති ඩීසල් එන්ජින් දත්ත සමුදායේත්, මෙරට දුම්රිය ක්ෂේත්‍රෙය් අත්පොත ලෙස බොහෝ දෙනා සලකන, ආචාර්ය ඩේවිඩ් හයැට් විසින් රචිත  (Dr. David Hyatt) - "Railways Of Sri Lanka" නමැති පොතේ පවා සඳහන් වන්නේ ඒ ලෙසිනි. එනම් ඔවුනට අනුව නිෂ්පානය කර නොමැති එන්ජිමේ අංකය අංක 728 වෙයි. එනම් Y1-728 එන්ජිම නිෂ්පාදනය කර නැත. මී ලඟ අංකය වූ අංක 729 දරණ එන්ජිම දුම්රිය සේවය සතු W2 පන්තියේ එන්ජිමකි. (W2 එන්ජින් කාණ්ඩය අංක ගත කිරිම 703 සිට 716 දක්වා වූවද නිෂ්පාදකයාගේ කර්මාන්ත ශාලාවේ තිබූ ඒන්ජිමක් පසුව මෙරටට ලැබුණු අතර එය අංක 729 දරණ W2 එන්ජිම විය. එමෙන්ම අංක 717-720 එන්ජින් S5 පන්තියේ බලවේග කට්ටල් වේ.) ඒ අනුව 728 අංකය ආපසු වෙනත් එන්ජිමක් සඳහා භාවිත කිරීමක් සිදුකර නැති බව ඔවුන්ගේ අදහස වන අතර එය පොදු මතයක් ලෙස බොහෝ දුම්රිය ලෝලිහු විශ්වාස කරති. 

එහෙත්, අංක 728 නමින් එන්ජිමක් මෙරට දුම්රිය සේවයේ තිබුණා පමණක් නොව එය ධාවනයේ තිබූ Y1 එන්ජිමක් බව ඇසුවහොත් ඇතැම් දුම්රිය ලෝලින් මහත් පුදුමයට පත්වනු ඇත. එහෙත් සත්‍යය එයයි. Y1-728 නමින් Y1 එන්ජිමක් නිපදවා තිබුණු බවට සාක්ෂි කිහිපයක්ම තිබේ. එයින් මුල් සාක්ෂිය වන්නේ වර්ෂ 1980දී පමණ Bill Scales නමින් හඳුන්වාගත් විදේශිකයෙකු විසින් අහම්බෙන් ගන්නා ලද ඡායාරූපයකි. එහි දැක්වෙන්නේ Y1 එන්ජිමක් මගීමැදිරි කිහිපයක් සමගින් කොළඹ දෙසට ධාවනය වන දසුනකි. එම එන්ජිමේ අංකය අපැහැදිලි වුවද ප්‍රවේසමෙන් බැලුකල එය අංක 728 බැවි අනුමාන කල හැකිය. එය අහම්බෙන් ලබාගත් වටිනා ඡායාරූපයක් වනුනේ ඒ නිසා පමණක් නෙවේ. මගීන් සහිත මැදිරි සමග ඇති එම ඡායාරූපය මගින් මෙම එන්ජින් මගී දුම්රියන් වෙනුවෙන්ද යොදාගත් බවට සාක්ෂියකි. 

දෙවැනි සාක්ෂිය වන්නේ වර්ෂ 2011දී නලීන් අබේසිංහ මහතා විසින් ගත් රත්මලාන පැරණි දුම්රිය අබලි අංගනයේදී ගත් ඡායාරූපයකි. එහි පැරණි යකඩ සඳහා අලෙවි කරන්නට සුදානම් කර තිබූ අංක 728 එන්ජිමේ ඡායාරූපයයි. (මෙම ඡායාරූප දෙකම පහත ඡායාරූප වල ඇත.) එනම් දැන් එක් ගැටලුවක් විසඳී හමාරය. එවිට තවත් ගැටලුවක් මතුවේ. එනම් Y1 එන්ජින් තිබුණේ 7ක් නිසා ඒ එන්ජින් 7 මොනවාද යන්නයි. එයට නලින් අබේසිංහ මහතා දක්වන අදහස වනුයේ ඒ අංක 721 බවත් Y1-721 නමින් එන්ජිමක් නොතිබූ වබත්ය. 

එසේනම් අංක 721 බොහෝ විට එය ඉහත කී පරිදි කර්මාන්ත ශාලාවේ සිට පසුව ලැබීමට තිබූ W2 පන්තියේ එන්ජිම වෙනුවෙන් වෙන්කොට තබාගත්තක් විය හැකිය. පසුව අත්වැරදීමකින් හෝ යම් හේතුවක් නිසා එම W2 එන්ජිමට 721 නොදී 729 යොදන්නට ඇත. එබැවින් දුම්රිය එන්ජින් ලැයිස්තුවේ අංක 721 ඉදිරියෙන් හිස්තැනක් පවතී. (M3 සහ M2 එන්ජින් අතරද මෙවැනි අංක ගැටලුවක් තිබේ.) කෙසේ වුවද එම W2 එන්ජිම අංක 717 ලෙස පැමිණ පසුව මෙහිදී 729 ලෙස අංක කල බවද පුත්තලම ධාවනාගාරය භාරව කටයුතු කරන නිලුපුල් වික්‍රමගේ මහතා අනාවරණය කරන ලදී. ඒ අනුව මෙම Y1 එන්ජින් 8ක් තිබුණාද යන කරුණ පිළිබඳව තවමත් නොවිසඳුනු ගැටලුවක් ඇත. (මෙම කරුණ හැකි විගසින් මෙම පොස්ට් එක හරහාම ඔබව දැනුවත් කෙරෙනු ඇත.) 

අවසානයේදී කෙසේ හෝ Y1 පන්තියේ එන්ජින් හතක් (හෝ අටක් ) මෙරට ඉන්ජිනේරුවන් විසින් ඉතා සාර්ථකව නිපදවා අත්හදා බලන ලදී. මෙසේ නිපදවූ එන්ජින් වල විශේෂ කාරණා බොහොමයක් දකින්නට ඇත. ඉතා පැහැදිලිවම පෙනී යන ලක්ෂනය වනුදේ මෙම එන්ජින් වල රියදුරුකුටියේ වහලයේ ඇති වෙනසයි. සඳහන් කරන ආකාරයට එය අකාර තුනක් තිබී ඇත. කිහිපයක් W1 ආකාරයටත් තවත් කිහිපයක් W2 ආකාරයටත් ඉතිරිය M2 හි ආකාරයටත් යනාදී වශයෙන් තුන් ආකාරයකට නිපදවා ඇත. මෙම නිශ්පාදක කටයුතු සම්පූර්ණයෙන්ම වාගේ සිදුකර ඇත්තේ මෙරට ඉංජිනේරුවන් විසින් රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාවේදීය. 

මෙසේ නිපදවූ එන්ජිමක් මුල්ම පරීක්ෂණ ධාවනයක් සඳහා අනුරාධපුර දක්වා පවා ධාවනය කර ඇති බවට සාධක ඇති බව කියවේ. මුලින්ම මෙම එන්ජිමක් සේවය යොදවා ඇත්තේ වර්ෂ 1971 පෙබරවාරි 28 වැනි දිනයේයි. ඒ අංක 722 දරණ එන්ජිමයි. එසේම තහවුරැ කර නොමැති වාචික සාධක අනුව (රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාවේ පැරණි සේවකයෙක්) මෙම එන්ජිමක් පරීක්ෂණ ධාවනයක් සඳහා මහනුවර දක්වා ධාවනය කර තිබේ. එහිදී දිගින් වැඩි රෝද පරතරය (Wheel base) නිසා මහනුවර දක්වා ධාවනය (Wheel Grinding on Rail) අපහසු වූ බවද ඔහු පවසා ඇත. එම පරීක්ෂණ ධාවනයෙන් පසු නැවත එම දුම්රිය එන්ජින් මහනුවරට ධාවනය කලාදැයි සාධක නැත. 

මෙම එන්ජින් නිපදවන ලද්දේ දුම්රිය වල Heavy Shunting කටයුතු සඳහා යොදා ගැනීමටය. වර්ෂ 1970 පමණ වන විටද මෙරට තුල භාණ්ඩ ප්‍රවාහන දුම්රියන් සඳහා හොඳ ඉල්ලුමක් පැවතිණි. එබැවින් බරැති දුම්රිය කට්ටල ෂන්ටින් කරවීමට මේවා මහත්සේ උපකාරි වන්නට ඇතැයි අනුමාන කල හැකිය. බොගියක් රහිත මෙම එන්ජින් වල ඇක්සල් සැකසුම 0-8-0 විය. එනම් ඇක්සල් හතරකි. එබැවින් මෙම එන්ජිම Y පන්තියේ එන්ජිමට වඩා දිගින් වැඩි වූ අතර එම දිගින් වැඩි බවම වංගු වැඩි මාර්ග වල ධාවනයේදී ප්‍රශ්ණකාරි බවක්ද ඇති කර තිබේ. නිරන්තර පීලී පැනීම් වලට මුහුණ දීමට මේවාට සිදුවිය. ඒ හැරෙන්නට මෙම එන්ජින් වල වෙනත් යාන්ත්‍රික දෝශ මතුවූ බවක් දැනගන්නට නැත. මෙහි තිබූ විදුලි පද්ධතිය පවා ඉතා සරල, කල් පවතින එකක් බැව් කියවේ. 

දුම්රිය ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගයක් සටහන් කල මෙම එන්ජින් වල අවසානය සටහන් වනුයේ ඉතා අවාසනාවන්ත ආකාරයටය. වර්ෂ 1980 පමණ වන විට මෙරට මහාමාර්ග ක්ෂේත්‍රයේ ඇතිවෙමින් තිබූ ප්‍රවර්ධනයත් සමග දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනයට වඩා ලොරි රථ මගින් භාණ්ඩ ප්‍රවාහනය වඩ වඩාත් ජනප්‍රිය වෙමින් පැවතිණි. ඒ අනුව භාණ්ඩ දුම්රියන් ක්‍රමක්‍රමයෙන් විශ්‍රාම ගැන්වුන අතර තව දුරටත් විශාල දුම්රිය ගැල් කට්ටලයන් ෂන්ටින් කිරීමට බලවත් එන්ජින් වල අවශ්‍යතාවක්ද ඇති නොවීය. සාමාන්‍ය ෂන්ටින් කටයුතු සඳහා Y පන්තියේ එන්ජින් සහ ඒ වන විටත් ධාවනයේ තිබූ G2 පන්තියේ එන්ජින් ප්‍රමාණවත් විය. දුම්රිය සේවයද ඒ වන විට මගී ප්‍රවාහන දුම්රියන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම අරඹා තිබිණි. එබැවින් කඳුකර ධාවනයක් පවා සිදුකිරීමට නොහැකි වූ මෙම Y1 එන්ජින් ක්‍රමක්‍රමයෙන් ධාවනය අත්හැර දැමීම ආරම්භ විය. ඒ වන විටත් සාර්ථක ධාවනයක යෙදෙමින් තිබූ W1 එන්ජින් වල විවිධ කාර්මික දෝශ මතුවීමත් සමග Y1 එන්ජින් වලට අපල කාලය උදා විය. Y1 එන්ජින් වල තිබූ බල සැපයුම් එන්ජින් ගලවා W1 එන්ජින් වලට සවි කරන ලදී. M1 එන්ජින් සේම Y1 එන්ජින්ද බලෙන් විශ්‍රාම ගන්වන ලද්දේ එසේය. 

ඒ අනුව හදවත් අහිමි වූ මේ එන්ජින් සියල්ලම රත්මලාන දුම්රිය කර්මාන්තශාලා බිමෙහි ගාල්කොට තිබී ඇත. ඉන් එක් එන්ජිමක් (අංක 727) ආපසු මාලිගාවත්ත ද්‍රවශක්ති ධාවනාගාරයට (HLS) ගෙනගොස් තිබී අහම්බෙන් මෙන් ඩිලන්ත ප්‍රනාන්දු මහතාගේ මැදිහත් වීමෙන් තීන්ත ආලේප කොට සුරක්ෂිත කර ඇත්තේ කොහේ හෝ අලංකාරයට තැබීම සඳහාය. මේ වන විට ඉතිරිව ඇති එකම Y1 එකම එන්ජිම වනුයේද මේ 727 එන්ජිමයි. එය මරදාන දුම්රිය කෞතුකාගාරයේ තබා ඇති අතර නොමනා මිනිසුන්ගේ ක්‍රියාකලාපයන් නිසා මේ වන විට විනාශ වෙමින් පවතී. 

තමන් උපන් තිඹිරි ගෙයම ස්වකීය මළගෙය වූ ලෙසින් ඉතිරි එන්ජින් සියල්ලම කාලයාගේ ඇවෑමෙන් රත්මලාන කර්මාන්ත ශාලා භූමිය තුලම දිරාපත් වීම නිසා කලින් කලට පැරණි යකඩ සඳහා අලෙවි කර ඇත. දුම්රිය ඉතිහාසයේ ස්වර්ණමය සටහනක් තැබූ Y1 සලකුණ කාලයත් සමග එසේ මැකී ගියේය.

ස්තූතිය -:
නලීන් අබේසිංහ, නිලුපුල් වික්‍රමගේ, අකිල ආරියප්පෙරුම, තූර්ය සත්සර, චානක මල්ලවආරච්චි යන මහත්වරුන්ට.

ඡායාරූප
අංක 722 එන්ජිම සහ කර්මාන්ත ශාලාවේ සේවක ප්‍රධානින් සහ පිරිස
ඡායාරූප අනුග්‍රහය - නලීන් අබේසිංහ
එන්ජිමේ ඉංජිනේරුමය සැලසුම. මෙහි දක්වා ඇති අංකය 722 වේ.
එන්ජින් එකින් එකට සැලසුම් නොමැති බැවින් මුල්ම එන්ජිම 722 විය හැකි බැව්
මෙයින් තර්කයක් ගොඩ නැංවිය හැකිය.
ඡායාරූප අනුග්‍රහය - අකිල ඉන්දීවර
M2 ආකාරයේ රියදුරු කුටිය සහිතව Y1 හි සැලසුම.
ඡායාරූප අනුග්‍රහය - අකිල ඉන්දීවර
එවකට පුවත් පතක් මෙම සිද්ධීය වාර්තා කල ආකාරය
අංක 723 එන්ජිම ඉන්ධන ප්‍රවාහන දුම්රියක් සමග
W2 ආකාරයේ රියදුරු කුටිය සහිත එන්ජිමක්
ඡායාරූපය- දුම්රිය කෞතුකාගාර වෙබ් අඩවිය (L Nixon)
අංක 728 එන්ජිම ප්‍රාදේශීය මගී දුම්රියක් සමග කොල්ලුපිටිය ප්‍රදේශයේදී.
වර්ෂ 1980 පෙබරවාරි මස  Bill Scales නමැති විදේශිකයකු ගත් ඡායාරූපයකි
විශේෂ
 ස්තූතිය - නලීන් අබේසිංහ
727 එන්ජිම අත්හැර දමා තිබියදී.
ඡායාරූපය - Richard Gennis (2008)
727 එන්ජිම අත්හැර දමා තිබියදී.
ඡායාරූපය - N.Senthilkumaran
අංකය පැහැදිලි නොමැති Y1 එන්ජිමක්.
මේ රත්මලාන දුම්රිය කර්මාන්තශාලාව විය යුතුයි.
ඡායාරූපය - IESL
අංක 728 එන්ජිමේ අවසාන  ගමනට මොහොතකට පෙර
ඡායාරූප අනුග්‍රහය - නලීන් අබේසිංහ
තවත් Y1 එන්ජිමක අවසාන දවස්.
මේ වන විට මෙයද සමහටම නික්ම ගොස් අවසන්.
තවත් Y1 එන්ජිමක අවසාන දවස්.
මේ වන විට මෙයද සමහටම නික්ම ගොස් අවසන්. 
තවත් Y1 එන්ජිමක අවසාන දවස්.
මේ වන විට මෙයද සමහටම නික්ම ගොස් අවසන්. 
එම එන්ජිමේහි රියදුරු කුටිය.
Rail 2000 භූමියේ ප්‍රදර්ශණයට තබා තිබූ 727 එන්ජිම
ඡායාරූපය - Srilankanlocos
නිශ්පාදකයාගෙ සටහන 
මරදාන දුම්රිය කෞතුකාගාරයේ තබා ඇති Y1-727 එන්ජිම
මරදාන දුම්රිය කෞතුකාගාරයේ තබා ඇති Y1-727 එන්ජිම
W1 ආකාරයේ රියදුරු කුටිය

42 comments:

  1. Saahena kaalekin aawe. Y1 gana nodanna dewal godak danagaththa. Digatama liyanna. Ara apita aapu hipaatuwa S12 ganath liyanna.
    -Subash Dhanasekara.-

    ReplyDelete
    Replies
    1. ආ මන්දාලක බුකියෙ නැති වුනාට ජාලෙනම් කරක් ගහනවා වගේ :D

      Delete
    2. ඔව් වොව් බ්ලොග් අවකාශේ පැත්තේ එනවා සතියකට සැරයක් දෙකක් වගේ..
      අර අංකය පැහැදිලි නෑ කියල තියන එකේ අංකය මට පෙන විදියට 725 වගේ..

      Delete
  2. class Y1
    අලුත් තොරතුරු, අලුත් පින්තූර, හොඳ පැහැදිලි කිරීමක් අයියා (Y) :D

    ReplyDelete
  3. කාලෙකට පස්සෙ අලුත් ලිපියකින් ඇවිල්ලා තියෙන්නේ... වෙනදා වගේම වැදගත් තොරතුරු ගොඩක්.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි සහෝ!

      Delete
  4. වෙල්කම් බෑක් කෝච්චියා!

    සතු‍ටුයි නැවත දකින්නට ලැබීම ගැන.


    මේ එන්ජින් ගැන කියනකොට නව බලසැපයුම් එන්ජින් වෙනුවට බල සැපයුම් ඒකක (power units) කියලා යෙදුවා නම් තවත් පොඩ්ඩක් හොඳයි කියලා මට හිතෙනවා. මේ දුම්රියවල එන්ජින් කියන එක එන්ජින් එකටයි පවර් යුනිට් එකටයි දෙකටම පාවිච්චි කරන්න වෙන නිසා ඇති වෙන ප්‍රශ්ණය මගහරින්න.

    ඇත්තටම මේවායේ තොරතුරු හරි හැටි නිවැරදිව වාර්තා කරන්න සටහන් කරන්න ක්‍රමයක් නොතිබිච්ච එක ලොකු අඩු පාඩුවක් නේද?

    ReplyDelete
    Replies
    1. පහුගිය ටිකේම නොසෑහෙන්න වැඩ තිබුණනේ. පේනවනේ තාමත් එහෙමයි. රිප්ලයි ලියන්නෙත් අද.
      ඒ අදහසත් ඉතා වටිනවා. ඉදිරි ලිපි වලදි ඒ විදියට යොදාගන්නම්. ඒක කියවන අයටත් පහසුවක් වේවි. ඒ වගේම Dude මම පරණ ලිපි ටිකත් සංශෝධනය කරලා වැරදි කරුණු ඉවත් කරලා පොඩ්ඩක් ක්‍රමවත් විදිහට මේක සකසන්නයි හිතාගෙන ඉන්නේ.

      තොරතුරුනම් තියෙන්න ඕනෙ. මෑත කාලීනව විනාශවෙලා ගිහිල්ලා තියෙන්නේ.

      Delete
  5. සෑහෙන්න වටිනවා ගෙහාන් අයියා....මාර විස්තර ගොඩක් තියෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මකුලුවා :)

      Delete
  6. ඇති යාන්තම් ලියන්න ගත්තා.
    මම දැන් බ්ලොග් බලන්නේ නැති තරම්. ආසාවෙන් බලන බ්ලොග් දෙක තුන අතර මේකත් තියනවා. ඒ නිසා ආයෙම ලියන එක සතුටක්.

    ReplyDelete
    Replies
    1. වැඩ පොඩ්ඩකි වැඩියි අයියේ. හෙමිහිට ලියාගෙන යමු. :)

      Delete
  7. (Y) පට්ටය පට්ටය... :D

    ReplyDelete
  8. කාලෙකට පස්සෙ හොඳ විස්තරයක් කරල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔබේ මනාපයට මගේ අමනාපයක් නෑ අයියා :D

      Delete
  9. කවදාවත් ධාවනය වනවා හෝ ඇසට දැක නැති Y1 එන්ජිම ගැන වැදගත් සහ වටිනා විස්තරයක්

    ReplyDelete
    Replies
    1. සමහර විට පරණ ෆිල්ම් වල එහෙම ඇති. මොනවා වුනත් කපලා දාපු එකනම් අපරාදේ.

      Delete
  10. කලෙකින් වටිනා ලිපියක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලුවා :)

      Delete
  11. හුඟ කාලෙකින්.

    කාලයක් තිස්සෙ ප්‍රයෝජනයට ගත්තු යන්ත්‍ර මේ විදියට විනාශවෙල දිරලයන්න ඇරල තියෙන එක මහ අපරාධයක්නේ. ඒවට යම් යම් ප්‍රායෝගික ගැටළු තිබෙන්න පුළුවන් වුනත් මෙහෙම අවුවට වැස්සට දිරන්න අරින එක මහ ගොන්කමක්. පස්සෙ කාලෙක වෙන ප්‍රයෝජනයක් ගන්න ඕන වුනත් එතකොට වෙන්න ඕන දේවල්වෙල මෙහෙම තිබුනහම. මෙච්චර සල්ලි නාස්තිකරන රටේ ඕව නොතෙමෙන්න වහලක් හදන්න බැරිද?

    අවුරුදු විස්ස තිහකට වඩා නැති අතීතයක් ගැන මෙහෙම තහවුරුකරගන්න ලිඛිත සටහන් නැතිව වදවෙන එක නම් හරිම අවාසනාවක් නේද? නිවැරදිව තොරතුරු වාර්තාකරල තිබුනනම් කොච්චර වටිනවද?

    එච්චර ඈත කාලෙත් අපේ රටේ මේ වගේ නිෂ්පාදනයන් කළා නම් ඇයි දැන් මේ සෙල්ලම් බඩු වගේ හැප්පුනාම කුඩේ කුඩු වෙන එව්ව ගෙන්වන්නෙ. සමහරවිට මෙහේ හැදුවහම වෙන රටකින් එන්ජින් ගන්නකොට වගේ කොමිස් කුට්ටි දෙන්න කෙනෙක් නැතුව ඇතිනේ.

    ReplyDelete
    Replies
    1. මේවා විතරක් නෙමේ. ලෝකෙටම එකක් වෙලා ඉතිරි වුණ ධාවන තත්වයෙන් තිබුණු එකම රේල් කාර් එකත් මේ වෙද්දි විනාශවෙලා ගිහිල්ලා. රටේ අවාසනාව තමයි ඉතින්. මෙලෝ රහක් නැති, මේවට කිසිම ආදරයක් නැති මිනිස්සු මුල් පුටු වලට ආවාම මෙහෙම තමයි.
      ලිඛිත අතීතයක් නම් තියෙන්න ඇති. බොහොම මෑත කාලීන අයගේ ක්‍රියාකලාපයයන් නිසා විනාස වෙලා ඇති කියල තමයි හිතෙන්නේ.
      තුන්වෙනි ප්‍රශ්නෙටනම් උත්තරේ ඒක තමයි. :D

      Delete
  12. Replies
    1. ස්තුතියි බාස් උන්නැහේ

      Delete
  13. හොද පැහැදිලි විස්තරයක්.
    අපේම නිශ්පාදනයකට අපේම මිනිසුන් දක්වන සැලකිල්ල ගැන හරිම කණගාටු හිතෙනවා.

    ReplyDelete
  14. කෞතුකාගරේ ඇතුලේ තියෙන එක නම් ගන්න දෙයක් නෑ , එක ඇතුලේ හිස් බියර් කෑන් , පරණ ඩෙනිම් කෑලි පුරවල ඇතුලේ තහඩුවත් නෑ පස්ට කරුවලයි ඇතුල මං එක ඇතුලට යන්න හදල ඊට කලින් නිකම් කැමරාවෙන් ෆොටෝවක් ගැහුවා , ෆොටෝව බලන කොට එක ඇතුලේ මහා වලක් , තව පොඩ්ඩෙන් සොරිම තමා , කෞතුකාගරේ ඇතුලේ තියෙන එකේ කැබින් එක හදලා දාන්න කට හරි හිතුනොත් ලොකු දෙයක්

    ReplyDelete
    Replies
    1. ඕක බාර් එකක් විදිහට පාවිච්චි වෙනවා මගෙ හිතේ. ලඟදිම ඕකට වෙන්නෙත් අර විහාර මහාදේවි එකේ එන්ජිමට වෙච්ච දේම තමයි.

      Delete
  15. බ්ලොග් එක දැන් ලියන්නේ නැද්ද?

    ReplyDelete
  16. බ්ලොග් එක දැන් ලියන්නේ නැද්ද?

    ReplyDelete
  17. බ්ලොග් එක දැන් ලියන්නේ නැද්ද?

    ReplyDelete
  18. Write About the Locos in KV Narrow Line

    ReplyDelete