Wednesday, December 11, 2019

අපට අහිමි වූ දුම්රිය උරුමය සොයා හිමගිර පාමුලට ගිය ගමන

අපේ කණ්ඩායම

බ්‍රිතාන්‍ය යටත් විජිත ලංකාවේ සහ ඉන්දියාවේ දුම්රිය මාර්ග ඉදිකරන විට ප්‍රධාන වශයෙන් එහි ආමානය (පීලි දෙක අතර පරතරය) ලෙස භාවිතා කරන ලද්දේ අඩි 5 අඟල් 6 පුළුල් ආමානයයි. අවස්ථානුකූලව ඊට වඩා පටු ආමානයන් ද භාවිතා කරන ලද්දේ කඳුකර සහ තියුණු වංගු සහිත දුම්රිය මාර්ග වලට එවැනි ආමානයන් වඩා යෝග්ය වන නිසාවෙනි. ලංකාවේ ද මේ අනුව අඩි 2 අඟල් 6 පළල් ආමානයක් සහිත දුම්රිය මාර්ග ලෙස කොළඹ සිය යටියන්තොට දක්වා වූ කැළණිවැලි මාර්ගය ද, අවිස්සාවේල්ල සිට ඕපනායක දක්වා වූ සබරගමු මාර්ගය ද, නානුඔය සිට රාගල දක්වා වූ උඩුපුස්සැල්ලාව මාර්ගය ද ඉදිකරන ලදි. 

අභාග්‍යයකයට මෙන් මේ සියලු පටු ආමාන මාර්ග අද දක්නට නැත. විවිධ සමාජ ආර්ථික ගැටලු නිසා අවිස්සාවේල්ල - යටියන්තොට සහ නානුඔය - රාගල දුම්රිය මාර්ග කොටස් 1940 දශකයේ දී වසා දමන ලදි. හැත්තෑව දශකයේ මැද භාගයේ දී අවිස්සාවේල්ල - ඕපනායක කොටස ගලවා දමන්නේ ඉතාම අවාසනාවන්ත ලෙසය. අවසානයේ ඉතිරි වූ කොළඹ - අවිස්සාවේල්ල කොටසේ පුංචි කෝච්චි ධාවනය අනූව දශකය වනතුරුම සිදුවුණ අතර අමතර පීල්ලක් යෙදීම මගින් එම මාර්ගය අඩි 5 අඟල් 6 ප්රධාන ආමානයට පරිවර්තනය ලදි. ඉන් පසු පටු ආමාන දුම්රිය ධාවනය කිරීමට තව දුරටත් අවශ්‍ය නොවූ අතර දුම්රියට ලැදි සේවක මහතුන් කිහිප දෙනෙක් නිසා එම එන්ජින් සහ මැදිරි කීපයක් විනාශ මුඛයට යා නොදී සංරක්ෂණය කර ගැනීමට හැකිවිය. විහාර මහා දේවි උද්යානයේ ද විනෝදාත්කම දුම්රියක් ලෙස පටු මාර්ග දුම්රියක් ක්රියාත්මක වූ නමුදු පසුකාලීනව එය නවතා දමන ලදි (මෑතක් වන තුරුම එම මාර්ග කොටස දක්නට තිබුණි). ගම් උදාව සහ දැයට කිරුල ප්රදර්ශන වලද පටු ආමාන දුම්රිය ප්රදර්ශනාත්කම දුම්රිය ලෙස ධාවනය කරන ලදි.