ඡායාරූපය http://www.railwaymuseum.lk |
මෙතැන් සිට ඉදිරි ලිපි කිහිපය වෙන් වන්නේ ප්‍රධාන මාර්ග සඳහා භාවිත කරන ඩීසල්-හයිඩ්‍රොලික් වර්ගයේ එන්ජින් පිළිබඳ කරුණු ගෙන එන්නටයි. ප්‍රධාන වශයෙන් අප රටේ ප්‍රවාහන තටයුතු සඳහා යොදන ඩීසල් හයිඩ්‍රොලික් වර්ගයේ දුම්රිය එන්ජින් වර්ග තිබෙන්නෙ වර්ග තුනක් පමණයි. ඒ අතුරින් මුලින්ම ගෙන එනු ලැබූ එන්ජිම වන්නේ W1 ධාවන පන්තියයේ දුම්රිය එන්ජිමයි. (මෙම ලිපි වලදී දුම්රිය එන්ජින් යනුවෙන් අදහස් කරන්නේ මැදිරි සඳහා වෙනම ඈඳන ආකාරයේ එන්ජින් කොටස ගැන විනා බලවේග දුම්රියන් වල එන්ජින් කොටස ගැන නොවේ. ඇතැම් බලවේග දුම්රියන්ද හයිඩ්‍රොලික් තාක්ෂණයෙන් ධාවනය වන අතර ඒවා පිළිබඳව පසු ලිපි වලදී විස්තර කෙරේ.) W1 එන්ජිම පිලිබඳව තාක්ෂණික කරුණු පහත දැක්වේ.
- එන්ජින් පන්තිය - W1
- නිශ්පාදිත රට - බටහිර ජර්මනිය
- නිපදවූ සමාගම - THYSSEN HENSCHEL (West Germany)
- ගෙන්වූ වර්ෂය - 1969
- දුම්රිය එන්ජින් වර්ගය - Diesel Hydraulic
- බල සැපයුම් එන්ජිම - PAXMAN 12 YJXL 12 Cylinders
- උපරිම බලය - 1150hp - 1500RPM
- උපරිම වේගය - 80kmh
- එන්ජිමේ දිග - 12.8 m
- Axel Arrangement - B-B
- බර - ටොන් 60.5
- වර්ණය - කොළ,රතු සහ කහ පැහැ රේඛාවක්
- ගෙන්වූ එන්ජින් ගණන - 45 (630-674)
හැඩයෙන් මෙම W1 එන්ජිම නිරන්තරයෙන් ඔබ දැක පුරුදු තවත් එන්ජිමකට ආසන්න සමානකම් දක්වනවා. ඒ M6 ධාවන පන්තියේ එන්ජිම. M6 සහ W1 එන්ජින් වර්ග දෙකම නිපදවා තිබෙන්නේ එකම නිෂ්පාදකයෙකු විසින්. හැඩයෙන් සමාන වුවත් මෙම එන්ජින් වර්ග දෙක ඒවායේ විවිධ ගති ලක්ෂණ අතින් නම් බොහෝ දුරට වෙනස් බව ඔබට ඒවායේ කරුණු සලකා බැලීමෙන් දැනගත හැකියි. මෙම W1 එන්ජිම නිපදවීමේදී නිෂ්පාදක සමාගම විසින් භාවිත කර ඇත්තේ දුම්රිය එන්ජින් සඳහා අතිශයින්ම සාර්ථක වු සැලසුමක් වන DHG-1200 නම් සැලසුම බව පැවසෙනවා. කෙසේ නමුත් මෙම එන්ජින් නිපදවූ THYSSEN HENSCHEL (West Germany) සමාගම මීට කලකට පෙර විවිධ කොටස් වලට කැඩී ගිය අතර එම එක එක කොටස් විවිධ සමාගම් යටතට පත්වුනා. එක් සමාගමක් ADtranz වු අතර, පසුව එය නැවත Bombardier සමාගම බවට පත්වුන අතර වර්ථමානයේදිත් ඔවුන් දුම්රියන් නිපදවනවා. මුල් THYSSEN HENSCHEL සමාගමේ තවත් කොටසක් Henschel Antriebstechnik සමාගම බවට පත්වූ අතර වර්තමානයේදී ඔවුන් නිපදවන්නේ ගියර් පෙට්ටි සහ ඇතැම් දුම්රිය අමතර කොටස් පමණයි.
කෙසේ වුවත් මෙහි නිෂ්පාදක සමාගම වන එසේම විවිධ කාරණා රාශියක් නිසා මෙම W1 පන්තියේ දුම්රිය එන්ජිමත් අපේ දුම්රිය ක්ෂේත්‍රය තුල සුවිශේෂි වනවා. ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගයක ප්‍රවාහන කටයුතු සඳහා ධාවනය කිරීම වෙනුවෙන් ගෙන එන ලද "ප්‍රථම ඩිසල් හයිඩ්‍රොලික් වර්ගයේ දුම්රිය එන්ජිම" ලෙස මෙය සැලකෙනවා.(ඩීසල් හයිඩ්‍රොලික් තාක්ෂණය පිලිබඳව මෙම ලිපිය බලන්න). මේවන විට S2, S3 සහ S4 බලවේග දුම්රියන් හයිඩ්‍රොලික් තාක්ෂණයෙන් යුතුව ධාවනය වුනා. නමුත් දුම්රිය එන්ජින් ගැන සැලකූ විට පුලුල් මාර්ගවල (Board Gauge) ධාවනය කරවීම සඳහා ගෙන්වූ පළමු ඩීසල් හයිඩ්‍රොලික් දුම්රිය එන්ජිම ලෙස සලකන්නේ W1 එන්ජිමයි.
එමෙන්ම ශ්‍රී ලංකාවට වැඩිම දුම්රිය එන්ජින් ගනනක් ගෙන්වු වසර වන 1969 වර්ෂයේදි ගෙන එන ලද මෙම වර්ගයේ සම්පූර්ණ එන්ජින් ගණන 45ක්. එය ඉතා විශාල සංඛ්‍යාවක් වන අතර මෙරටට එක් වර්ගයකින් වැඩිම සංඛ්‍යාවක් ගෙන්වූ එන්ජින් වර්ගය වන්නේද මෙම W1 පන්තියේ එන්ජින්. මේවා ලංකාවට ගෙන එන විට අනෙකුත් ප්‍රධාන ඩීසල් එන්ජින් ලෙස ධාවනය වුනේ M1 සහ M2 ධාවන පන්තිවල දුම්රිය එන්ජින් පමණයි. අනෙකුති බොහෝ දුම්රියන් ධාවනය වුනේ වාෂ්ප එන්ජින් මගින්. මේ අනුව මෙම W1 එන්ජින් පැමිණිමත් සමග එතෙක් සේවයට යොදවා තිබුණු වාෂ්ප බල එන්ජින් රැසක් ධාවනයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරුණා. එම වාෂ්ප එන්ජින් මගින් ධාවනය කෙරුනු බොහොමයක් දුම්රියන් සඳහා මෙම W1 එන්ජින් යෙදවුනා. හඳුන්වා දුන් කාලයේ පටන් වර්ෂ 1995 අතර දක්වා වසර 25ක් පමණ කාලයක් උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියන් ඇතුලුව කඳුකරයට දිවෙන බොහොමයක් දුම්රියන් සඳහා බොහෝ විට M පන්තියේ එන්ජින් වලට අමතරව මෙම වර්ගයේ එන්ජින්ද ඇතැම් විට යොදනු ලැබුවා. වර්ෂ 1996 පමණ තෙක් පටු මාර්ගයක් (Narrow Gauge) ලෙස පැවතුන කැළණිවැලි මාර්ගයේ හැර ශ්‍රී ලංකාව තුල අනෙක් ඕනැම මාර්ගයක ධාවනය කිරීමේ හැකියාව මෙම එන්ජින් සතු වුණා. මේ වන විට නම් මෙම එන්ජින් ලංකාවේ ඕනෑම දුම්රිය මාර්ගයක ධාවනය කල හැකියි. කාර් රථයක වැනි ඉතා සුමට ධාවන හැකියාවක් සහිත වූ මේවා ඉතා අඩු ශබ්දයක් සහිතව ධාවනය වූ බවද, එම නිසාම මෙම දුම්රිය එන්ජින් පිලිබඳව ඒවායේ රියදුරන් ඉතා ප්‍රසන්න ආකල්පයක් දැක්වූ බවද පැවසෙනවා.
කෙසේ වුවත් ධාවනය ආරම්භ කර වසර 20ක් පමණ ගතවන විට මෙම එන්ජින් වල අභාග්‍ය සමය උදා වුනේ මේවා අධික ලෙස අබලන් වීම නිසයි. වසර 10ක නිෂ්පාදක වගකීම් කාලයක් යටතේ සැපයුන මෙම එන්ජින් සඳහා එම වසර 10 අවසානයේ නව බල සැපයුම් එන්ජින් කට්ටල සවිකල යුතු බවට නිෂ්පාදකයා නිර්දේශ කර තිබුනා. ඒ අනුව වසර 1980දි පමණ අදාල නඩත්තුව සිදුකල යුතුව තිබුණත් එය සිදු කෙරුණේ නැහැ. දුම්රිය එන්ජිමක් සඳහා බල සැපයුම් එන්ජිමක් අලුතෙන් සවිකිරීම අතිශයින්ම සංකීර්ණ එමෙන්ම විශාල ලෙස මුදල් වැය වන කටයුත්තක්. එබැවින් මෙම එන්ජින් සඳහා අලුත් බල සැපයුම් එන්ජින් සවි කිරීමට වැය කල යුතු මුදලින් අවශ්‍යනම් නව දුම්රිය එන්ජින් වුවත් මිලදී ගැනීමට හැකියාව තිබෙනවා. ඒ කෙසේ වුවත් ඒම කටයුත්ත සඳහා යෙදවීමට දුමිර්ය සේවයට අවශ්‍ය ප්‍රතිපාදන නොලැබීමද මෙයට හේතු වෙන්නට ඇති.
කෙටිදුර ධාවනයට යෙදවීමට ගෙන ආ මෙම එන්ජින් 1500 RPM ක් තරම් වූ ඉතා අධික RPM(එන්ජින් භ්‍රමණ වේගය-විනාඩියට වට) අගයකින් යුක්ත වූ එන්ජින් නිසා කෙටි දුරවල් වල ධාවනයේදී එක ලඟ ලඟ සිදුවන ත්වරණ(Acceleration) සහ මන්දනයන් නිසාත් මේවායේ බල සැපයුම් එන්ජින් ඉතා ඉක්මණින් ගෙවි යන්නට පටන් ගෙන තිබුනේත් මෙසේ නිර්දේශිත නඩත්තු කටයුතු නිවැරදිව සිදු නොකල නිසායි. එසේ අබලන් වීම නිසා මේවා බොහොමයක් 1990 පමණ වන විට ධාවනයෙන් ඉවත් කිරීමට සිදුවුනේ ඉතා අවාසනාවන්ත ලෙසයි. තවද මේ වර්ගයේ අංක 674 එන්ජිම 1996.12.03 දින රඹුක්කනදී නගරාන්තර දුම්රියක් සමග ගැටීම නිසාත්, 663 එන්ජිම 1993 දී ගාල්ල-මාතර අතර ස්ථානයකදී අනතුරකිනුත්, 664 එන්ජිම වර්ෂ 1994දී පමණ කපුවත්ත ප්‍රදේශයේදී අනතුරට ලක්වීමත් නිසා එම W1 එන්ජින් විනාශ වීමෙන් ඒවා අතහැර දැමුණා. මෙසේ නොයෙක් හේතු මත අත්හැර දැමුණු බොහෝ එන්ජින් ගණනක් තවමත් දිරා යමින් රත්මලාන දුම්රිය අංගනයේ ගාල් කොට තිබෙන අතර ඇතැම් ඒවා භාවිතයට ගතනොහැකි යකඩ ලෙස අලෙවි කර ඇති බවද සඳහන් වෙනවා.
එන්ජින් කීපයක් සඳහා නව එන්ජින් සවිකර නැවත ධාවනයට එක්කිරීමට කටයුතු කල අතර එසේ අලුත්වැඩියා කිරීමෙදී PAXMAN VEGA SE/RP 160 වර්ගයේ 1250hp එන්ජින් යොදා එන්ජීන් කීපයක් අලුත්වැඩියා කෙරුණා. කෙසේ වුවත් එයිනුත් දැනට ධාවනය වන්නේ අංක 650 සහ 658 දරණ එන්ජින් දෙක පමණයි. මේවාද බොහෝ විට දුම්රිය කර්මාන්ත ශාලාවේම ප්‍රවාහන කටයුතු, සහ ෂන්ටින් කටයුතු ආදී සැහැල්ලු කාර්‍යයන් සඳහා පමණක් යොදාගන්නා බව පැවසෙනවා. එමෙන්ම මන්දගාමී දුම්රිය සඳහාද කලාතුරකින් අවස්ථා වල මෙම එන්ජින් යොදා ගන්නා බව සඳහන් වෙනවා.
වසර 1997දී එවකට ADTranz සමාගම සමග රජය ඒකාබද්ධව මෙම වර්ගයේ අතහැර දැමු එන්ජින් 10 නව එන්ජින් යොදා අලුත්වැඩියා කල අතර ඒ ගැන W3 එන්ජිම පිලිබඳ ලිපියේදී විස්තර ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. බොහෝ විට නුදුරු දිනකදී තවත් W1 සගයන් කීප දෙනෙකුම (642, 650, 657) එන්ජින් නැවත සවිකිරීමෙන් අනතුරුව ධාවනයට එකතුවීමට නියමිතයි. මෙහිදී යොදාගැනෙනුයේ S6 බලවේග දුම්රිය වල එන්ජින්. ආයුකාලය අවසන් වීම නිසා මේ වන විට S6 දුම්රියන් බොහොමයක් සේවයෙන් ඉවත් කෙරෙමින් පවතිනවා. එහෙත් ඉන් ඇතැම් දුම්රියන් වල බල සැපයුම් එන්ජිම තවමත් හොඳ තත්වයේ පවතින අතර එම PAXMAN VEGA SE/RP-160 එන්ජින් යොදා, අත්හැර දැමුණු W1 එන්ජින් කිහිපයක් මෙසේ අලුත්වැඩියා කෙරෙනු ඇති අතර බොහෝ විට මෙම අලුත්වැඩියාවෙන් පසු සැහැල්ලු දුම්රියන් සඳහා එම එන්ජින් යෙදවේවි. කෙසේ වෙතත් වසර 20ක් පමණ භාවිත කරන ලද මෙම පැරණි PAXMAN VEGA SE/RP 160 එන්ජින් භාවිත කරමින් මේවා අලුත්වැඩියා කිරීම නම් කොතරම් දුරට සාර්ථක වේදැයි බලාපොරොත්තු වන්නට බැහැ.
සටහන
W1 එන්ජින් පිළිබඳව විස්තරාත්මක කරුණු සොයාගත හැකි වෙබ් අඩිවි ඉතා අවම බැවින් මෙම විස්තර විශේෂයෙන් දුම්රිය ක්ෂේත්‍රය ගැන උනන්දුවක් දක්වන ආධුනික පිරිසට යම් හෝ උපකාරයක් වනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
ස්තුතිය....
මෙම ලිපියට කරුණු සහ ඡායාරූප සෙවීමේදී වෙනදා මෙන්ම වටිනා කරුණු රාශියක් සැපයූ නලීන් අබේසිංහ සොයුරාට සහ චානක මල්ලවාරච්චි සොයුරාටත් එමෙන්ම ඡායාරූප සොයා දීමෙන් සහය දැක්වූ ලහිරු කන්නංගර සොයුරාටත් විශේෂ ස්තුතිය හිමිවන අතර මේ ලිපිය සම්බන්ධයෙන් ලැබිය යුතු නිසි ගෞරවය ඔවුන්ට හිමිවිය යුතු බවද මෙහි සටහන් කරමි.
මීලඟ දුම්රිය කතා බහෙන් හමුවෙමු.
-ඡායාරූප-
මරදාන දුම්රිය ධාවනාගාරය තුල ධාවනය වන W1 එන්ජිමක් වසර 1980 දී පමණ Mike Tisdale මහතා විසින් ගන්නා ලද ඡායාරූපයක්... |
අංක 664 එන්ජිම දෙහිවල දුම්රිය ස්ථානය අසල වසර 1980 දී පමණ Mike Tisdale මහතා විසින් ගන්නා ලද ඡායාරූපයක්.... |
අංක 669 දරණ එන්ජිම මහනුවර දුම්රිය ස්ථානයේදී වසර 1980 දී පමණ Mike Tisdale මහතා විසින් ගන්නා ලද ඡායාරූපයක්.... |
http://www.irfca.org අඩවියෙන් ලබාගත් මෙම ඡායාරූපයේ ඇත්තේත් W1 එන්ජිමක් සහිත දුම්රියක් Lennart Petersen මහතා විසින් මෙම ඡායාරූපය ගෙන ඇත්තේ මීගමුව ප්‍රදේශයේදී. |
මෙහි දැක්වෙන්නෙ දැනට ධාවනය වන W1-650 එන්ජිම.. 2011-01-26 දින ගල්කිස්සේදී ලහිරු කන්නන්ගර විසින් ගත් ඡායාරූපයක් |
මෙහි ඇත් අංක 657 දරණ එන්ජිමත් දැනට ධාවනයේ නැහැ. බොහෝ විට ඉදිරියේදී අලුත්වැඩියාකර ධාවනයට එක් විය හැකියි. ඡායාරූපය ශ්‍රීලංකාවට පැමිණි ජර්මන් සංචාරකයෙකු විසින් ගන්නා ලද එකක්. |
වත්මන් තත්වය. මෙසේ දිරායමින් පවතින්නේ අංක 635 එන්ජිම Carl Porter මහතා විසින් 2009දී ගත් ඡායාරූපයක් |
අංක 649 එන්ජිමේ වත්මන් තත්වය. Carl Porter මහතා විසින් 2009දී ගත් ඡායාරූපයක් |
නැවතත් එල ලිපියක් මචෝ.... දිගටම ලියපං.. අපි කියවනවා.
ReplyDeleteමම මේ වර්ගයේ එන්ජිමක් ගැන මුල් වරට කියෙව්වේ මේ පොස්ට් එකෙන්. චානක ඔබට ස්තූතියි මේ පොස්ට් එකෙන් පට මේ තොරතුරු සොයා දුන්නට...
ReplyDeleteනියම ලිපියක් අදයි හයිඩේරාලික් න්ජින් ගැන දැන ගත්තේ
ReplyDeleteදේශපාලකයො ගැනනම් කියල වැඩක් නෑ. අදටත් දුම්රිය ලංගම දෙක යන්තම් පණ අදින තත්වයේ තියෙන්නෙ දේශපාලුවො නිසා තමය. නැත්තම් පෞද්ගලික අංශයට තැනක් නැතිවෙන්නම දුම්රියටත් ලංගමටත් ප්‍රවාහනය මිනිස්සුන්ට දෙන්න තිබුනා.
ReplyDeleteමම ඉස්කෝලෙ යන දවස් වල හවස පාසල් දුම්රියටත් W1 එකක් ආවා සමහර දවසට. ඉස්සර ගාල්ල කොළඹ නගාරාන්තර සීඝ්‍රගාමී දුමරිය(දැන් සාගරිකා) නිල් පාටින් මුළු දුම්රියම පීන්තාරු කරලා w1 එකකුයි දිව්වේ.
ඇත්තෙන් ම W කාණ්ඩයේ එන්ජින් පිළිබඳව විස්තර හොයාගන්න අඩුයි මොකද දැනට භාවිතයේ අඩු බව නිසා. චන්දිකගෙ ලිපියෙන් ඒ අඩුව පිරෙන බව කියන්න පුළුවන්.
ReplyDelete@සුසිත: ඔබ ඔය කියන්නේ මීට කලකට පෙර සේවයේ පැවති ගාල්ල - කොළඹ නගරාන්තර සීග්‍රගාමි දුම්රිය ගැන වෙන්න ඕනෑ. එය පැවතියේ සුදු සහ නිල් පැහැයෙන් සිහින් කහ පැහති ඉරි දෙකක් නිල් පාට තීරුවේ දෙපැත්තෙන් සහිතව. ඊට යෙදවා තිබුණේ W3 එන්ජිමක්. ඒ ගැන චන්දික ඉදිරියේදී විස්තර කරාවී කියලා මම බලාපොරොත්තු වෙනවා.
@smartB
ReplyDeleteආ වෙන්ටැ වෙන්ටැ W කියල මතකයි 1ද 3ද කියල ඒ දවස් වල වැඩිය බැළුවෙ නෑ. 1කියලයි මම හිතන් හිටියෙ. පොඩි එකානෙ ඒ දවස් වල.
@සුසිත:
ReplyDeleteමටත් ඔහොම්මම තමයි. ඉස්සර නම් ඔක්කොම එන්ජින් එකවගේ තමයි පෙනුනේ. පැටි වයසෙදී ඉතින් අපි ඔව්වයෙ වෙනස්කම් හොයන්න දන්න එකක්යැ..... :)
ඇත්තටම කියනවානම් W1 සහ W3 පොත්ත එකම තමයි. මදේ විතරයි වෙනස්.... :D
නියම ලිපියක්. Class M ගැන සෑහෙන්න තොරතුරු ලැබුන ඔබේ ලිපි වලින්. අපි බලාගෙන ඉන්නෙ ඒ වගේම තොරතුරු ටිකක‍් ඔබේ Class W සම්බන්ධ ලිපි වලිනුත්. සෑහෙන්න වටිනවා.
ReplyDeleteස්තූතියි !
Great Article....
ReplyDeleteනියමයි,අලුත් ආරම්භයක්....
ReplyDeleteඅපේ රටේ මැටි හරක් දේශපාළුවො ඉන්නකන් මේව හැදෙනව බොරු. මොකද මුන් වැඩ කරන එවුන්ටත් වැඩක් කරන්න දෙන්නෙ නෑනෙ. කොමිස් එකක් ලැබෙනවනම් අම්මව උනත් විකුනගෙන කයි. මේව කැලේට දාල දිරල යනව දැක්කහම ඇගේ මාළු ගගේ නටනව. මේව අහිංසක මිනිස්සු දාඩිය මහන්සියෙන් හම්බකරපු ඒවයින් බදු අරන් අරගත්තු ඒව කියල දැනෙනකොට.
ReplyDeleteමොනව උනත් මේව හදල ගන්නවනම් ගොඩක් හොදයි.
ඒක නම් ඇත්ත තමයි. දේශපාලුවෝ මේ රට වනසල තමයි නවතින්නේ.
ReplyDeleteහැමදාම වගේ ගොඩක් වටින ලිපියක්. ස්තූතියි මචෝ.....
දුම්රියට ආදරය කරන්නන්ගේ උත්තමාදාරය......
This comment has been removed by the author.
ReplyDeleteනියම ලිපියක් මචං කතා දෙකක් නෑ....එළටම ලියලා තියෙනවා...කොහොමත් german locos නියමයි...ලෙඩ දෙනවා අඩුයි.නමුත් අපේ මිනිස්සු හරියට නඩත්තු වැඩ කරනවා කියලයැ.........පූස් නාම්බා(W3) ගැනත් ලියපන්...
ReplyDelete657 mama eye bhanda prawahana dumriyaka dakka.
ReplyDeleteFRANK
This comment has been removed by the author.
Delete