Saturday, January 09, 2021

දෙමෝදර ආරුක්කු නවය පාලම ඉදිකිරීමේ සත්‍ය කතාව


ආරුක්කු 9 පාලම, ගල් පාලම, දෙමෝදර පාලම වගේ නම් වලින් හ‍ඳුන්වන කොළඹ බදුල්ල දුම්රිය පාරේ ඇල්ල හා දෙමෝදර දුම්රිය ස්ථාන අතර පිහිටි කඳු දෙකක් යාකරන මෙය, අඩි 25 ක් පළලට අඩි 300 ක් දිගට හා අඩි 80 ක් උසට වන සේ මුහුදු මට්ටමින් අඩි 3 100 ක් ඉහලින් පිහිටා ඇත. මෙම පාලමේ ඉදිකිරීම් ගැන වර්තමානයේ ප්‍රසිද්ධව ඇති කතාවක් වන්නේ මෙය ඒ වනතෙක් දුම්රිය පාර හදාගෙන පැමිණි සුද්දන්ට ඇල්ල දුම්රිය ස්ථානයෙන් ඔබ්බෙහි තිබුණු මහා නිම්නයක් හරහා වංගුවක් සහිතව පාලමක් දැමීය යුතු ස්ථානයක් හමුවූ බවත්, එතන තිබුණු සංකීර්ණතාවය නිසා සුදු ජාතික ඉංජිනේරුවාට දුම්රිය පාර එතනින් එහාට ඉදිකරගැනීම නොහැකිව ප්‍රශ්නයකට මුහුණ දී රැකියාව ද නැතිවන මට්ටමක සිටි බවත්, එම තත්ත්වය දැක ඒ අසල පදිංචිව සිටි “අප්පුහාමි” නම් බාසුන්නහේ කෙනෙක් ඔහු සතු තාක්ෂණ දැනුම යොදාගෙන ආරුක්කු පාලමක් තනිකර කැපූ කළුගල් කුට්ටි භාවිතයෙන් මෙතැන ඉදිකළ බවත් යන කාරණයයි.