෴සටහන෴

දුම්රිය වනාහි ලොකු, කුඩා කාගේත් නෙත් සිත් බැඳගත් අපූරුතම නිමැවුමකි. අන්තර්ජාලය තුල ශ්‍රී ලාංකීය දුම්රිය සේවය පිලිබඳව ඇති තොරතුරු ප්‍රමාණය සීමාසහිතය. බැවින් මෙම බ්ලොග් අඩවිය මගින් එම අඩුව යන්තමින් හෝ සපිරෙනු දැකීම මෙය ලිවීමේ අරමුණයි. මෙහි අන්තර්ගත ඡායාරූප උපුටාගෙන යම් යම් කාර්යයන් සඳහා යොදා ගැනීමට පෙර ඒවායේ සැබෑ හිමිකරුවන්ගෙන් නිසි අවසරය ලබාගත යුතු අතර එසේ නොකීරීමෙන් ඇතිවන ගැටලු සම්බන්ධයෙන් මෙහි රචකයා වග කියනු නොලබන බව මතක් කරමි. කතෘ සම්බන්ධ කරගැනීමට gehanchandika@gmail.com ඊයක් යොමු කරන්න.

Sunday, June 19, 2011

෴S3 බලවේග දුම්රිය - උඩරට මාර්ගයේ දෛනික ධාවනයට යෙදූ එකම බලවේග දුම්රිය෴

Original Image here
ක්‍රමක්‍රමයෙන් දුම්රිය සේවා පිලිබඳව මගී ජනයාගේ ප්‍රසාදය ඉහල යාමත් සමග එදිනෙදා දුම්රියෙන් ගමන් කරන මගී සංඛ්‍යාව වැඩි විය. එමගින් ඇති වුණු මගී තදබදය අඩු කිරීමේ විකල්පයක් ලෙස අඩු දුම්රිය එන්ජින් සහ මගී මැදිරි ගෙන්වීමට වඩා අඩු පිරිවැයකින් ධාවනය කල හැකි බලවේග දුම්රියන් ගෙන්වීමට දුම්රිය බලධාරීන්ගේ අවධානය වඩාත් යොමු විය. එහි ප්‍රතිඵලයක් ලෙස S3 දුම්රියද 1959 වසරේදී මෙරටට ගෙන්වා ඇත.
  • දුම්රිය පන්තිය             - S3
  • නිශ්පාදිත රට - ජර්මනිය ("MAN Diesel" Company)
  • දුම්රිය එන්ජින් වර්ගය   -  Diesel Hydraulic
  • බල සැපයුම් එන්ජිම -  MAN L12 V18 
  • උපරිම බලය -  880hp - 1500RPM
  • උපරිම වේගය -  80 kmh
  • එලැවුම් මැදිරියේ දිග      -  59 feet
  • Axel Arrangement -  B-B
  • එලැවුම් මැදිරියේ බර -  ටොන් 47
  • මුල් වර්ණය  -  රතු පැහැය (පසුව කොළ සහ කහ පැහැය)
  • දුම්රිය ගණන -  25 (No 596-620) 

     වර්ෂ 1959 වසරේදී ධාවනයට එක් කරන ලද මෙම S3 බලවේග දුම්රියන් වල බලවේග කාරය (Power car) එනම් එන්ජිම සහිත එලැවුම් මැදිරිය ජර්මනියේදී නිපදවා මෙරටට ආනයනය කර ඇති අතර දුම්රිය කට්ටලයේ එන්ජිම රහිත පසුපස එලැවුම් මැදිරිය සහ අනෙකුත් මැදිරි නිපදවා ඇත්තේ ශ්‍රී ලංකාවේදීය. ඒ සඳහා අවශ්‍ය මූලික කොටස් විදේශයෙන් ගෙන්වා ඇති අතර බඳෙහි බොහෝ කොටස් දැවයෙන් නිම කර තිබේ. එබැවින් මෙම දුම්රියන් අඩු පිරිවැයකින් සහ වඩා සැහැල්ලු බවින් යුක්තව නිපදවීමට හැකියාව ලැබී තිබේ. ආරම්භයේදී රතු පැහැයෙන් වර්ණ ගන්වා තිබූ මෙම දුම්රිය කට්ටල පසුව 1990 දශකයේදී පමණ කොළ සහ කහ පැහැයෙන් වර්ණ ගන්වන ලදී.

     මෙම දුම්රියද S1, S2 ආදී අනෙකුත් බලවේග කට්ටල මෙන්ම මැදිරි 4ක දුම්රියකි. එය එක් බලවේග කාරයකින් ( එන්ජිම සහිත එලැවුම් මැදිරිය), මගී මැදිරි දෙකකින් සහ එක් පසුපස එලැවුම් මැදිරියකින් (එන්ජිම රහිත) සමන්විත විය. එම මැදිරි හතරේම මගීන්ට ගමන් කල හැකිවිය.

     මෙම දුම්රිය සම්බන්ධයෙන් ඇති වඩාත්ම විශේෂ කාරණාව වන්නේ එදා මෙදා තුර උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණියෙන් ඔබ්ට දිනපතා ධාවනය කල දුම්රියක් සඳහා මෙරටදී යොදාගත් එකම බලවේග දුම්රිය මෙම S3 දුම්රිය වීමයි. 1960 දශකයේ මුල් භාගයේදී ඇරඹුණු පොඩිමැණිකේ දුම්රිය සඳහා යොදාගැණුනේ මෙම වර්ගයේ බලවේග කට්ටල දෙකක් Back to back ආකාරයට ඈඳන ලඳ දුම්රියකි. (back to back යනු එන්ජින් සහිත එලැවුම් මැදිරි දෙක දුම්රියේ දෙපස කෙලවර ට  ඈඳන ලඳ ආකාරයයි). එවකට කොළඹ සිට නානුඔය දක්වා කිසිදු ගැටලුවකින් තොරව මෙම දුම්රියන් කඳුකර මාර්ග ඔස්සේ ධාවනය කර තිබේ. මේ අනුව වසර 10කට පමණ ආසන්න කාලයක් පුරා (උඩරට මාර්ගයට W පන්තියේ එන්ජින් යෙදූ දුම්රිය ධාවනයට යොදවන තෙක්) මේවා උඩරට මාර්ගයේ ධාවනය කරන්නට ඇතැයි සැලකිය හැකිය.

     ඊට අමතරව කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල කාර්යාලීය සේවාවන් සඳහා මෙම දුම්රිය කට්ටල බහුල වශයෙන් යොදාගෙන තිබේ. උඩරට මාර්ගයෙන් ඉවත් කිරීමත් සමග මේවා වැඩි වශයෙන් මුහුදුබඩ මාර්ගයේ සහ, පුලුල් ආමානයට හැරවූ පසු කැළණිවැලි මාර්ගයේත් බහුල වශයෙන් යොදාගන්නා ලදී. අංක 612 දුම්රිය අනතුරක් හේතුවෙන් වසර 1976දී පමණ විනාශ වූ බව කියවේ.

     පසු කාලීනව ඉතිරිවූ දුම්රිය කට්ටල කිහිපයක්ම ගාල්ල, මාතර, පිලදූව, අලුත්ගම, අවිස්සාවේල්ල ආදී ප්‍රදේශ ආශ්‍රිතව ධාවනයට යොදවා තිබිණි. කල් යත්ම අබලන් වෙමින් පැවතුන මෙම S3 බලවේග දුම්රිය,  දෙපාර්තමේන්තු නිල මුලාශ්‍ර අනුව වර්ෂ 2000දී පමණ ධාවනයෙන් ඉවත් කර ඇති බව සටහන් වුවද අංක 605, 613, 616 සහ 617 ආදී කට්ටල කිහිපයක් වරින් වර, වර්ෂ 2006 පමණ දක්වා ධාව‍නය කර ඇති බවටද ඇතැම් නිල නොවන මුලාශ්‍ර වලින් කරුණු වාර්තා වේ. ඒ අනුව වර්ෂ 2006 දී දී පමණ ධාවනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇතැයි සැලකුවහොත් දැනට මෙරට තුල වැඩිම කාලයක් සේවයේ යෙදී ඇති බලවේග දුම්රිය කට්ටලය වන්නේද මෙම S3 වර්ගයේ බලවේග දුම්රියයි. එය ආසන්න වශයෙන් වසර 45ක් පමණ වේ යැයි සැලකිය හැකිය. මේ වන විට මෙම ඉතිරි මැදිරි කිහිපයක් රත්මලාන කර්මාන්ත ශාලා භුමියේ දිරා යමින් පවතින බවට කරුණු වාර්තා වේ.

 විශේෂ ස්තුතිය:- ලිපිය සැකසීමේදී කරැණු රාශියක් සහ ඡායාරූප සපයා දුන් නලීන් අබේසිංහ, ප්‍රිමාල් මධුසංක සහ Mike Tisdale සහ යන මහත්වරුන්ටත් ලහිරු කන්නංගර සහ තුර්ය ඕවිටිපාන සොයුරන්ටත්

ඡායාරූප:-
Joost J. Bakker IJmuiden මහතා විසින් ගන්නා ලද ඡායාරූපයකි.

මෙම ඡායාරූපය වර්ෂ 2000 පැවැත් වූ දුම්රිය ප්‍රදර්ශණයේදී
තූර්ය ඕවිටිපාන විසින් ගන්නා ලද්දකි

ඡායාරූපය :- තූර්ය ඕවිටිපාන

ෆේස්බුක් හි කිසිවෙකු විසින් ඇතුලත් කර තිබු ඡායාරූපයකි.
මෙහි හිමිකරු පිලිබඳව දන්නා කෙනෙකු වේ නම් කරුණාකර සටහන් කරන්න.

ගාල්ල ප්‍රදේශයේ ධාවනය වන S3 දුම්රියක්
© Copyright 1999 Roland Ziegler

S3 දුම්රියේ එන්ජිම රහිත එලැවුම් මැදිරිය
ඡායාරූපය:- Railway Museum 

18 ප්‍රතිචාර ලැබී ඇත.:

  1. අපි ඉස්කෝලෙ ගියෙ ආවෙ ගොඩක් වෙලාවට ඕකෙ තමයි. හැමදාම වගේ පරක්කුයි හික්ස්. හැබැයි මග හිටියෙ නම් නෑ කවදාවත් මට මතක විදිහට.

    ReplyDelete
  2. විශිෂ්ඨ ලිපි ෙපලක් අහම්ෙබන් අද තමයි කියවන්න ලැබුෙණ අෙප් දුම්රිය ඉතිහාසය ගැන සිංහෙලන් ෙපාත් ෙගාඩක් ලියපු ෙල්ඛකයා තමයි සිරිෙස්න රාජපක්ෂ මහතා ඒත=මා ෙබාෙහා් කාලයක් දුම්රිය ෙස්වෙය් ලබපු අත්දැකීම් සහ කරන ලද ගෙව්ෂණ වල ප්රතිඵලයක් වශෙයන් ෙපාත් විශාල සංඛ්‍යාවක් ලියල තියනව ෙම් බ්ෙලාග් පිටුවට ඒත=මා හවුල් කරගන්න පුළුවන්නම් තව කරැණු ෙගාඩක් ෙහායාගත හැකිෙව්වි ෙම් ෙවබ්පිටුෙවන් අනවශ්‍ය විදියට ෙවනත් පුද්ගලයන් ඔසවා තබන්න ඒපා ඔබෙග් ෙපර ලිපිෙය් සටහන් වන අාකාරයට දුම්රිය ෙස්වය ගැන නලින් අෙබ්සිංහ කියන පුද්ගලයා ලිව්වයි කියන ෙපාතක් නම් අපි දැකල නැහැ ඒෙහම ෙකෙනක් දුම්රිය ගැන සිදුකරපු පරීක්ෂණ වාර්තාවක්වත් අෙප් විශ්වවිද්‍යාල වල නම් නැහැ

    - ෙසානාල් මුණසිංහ
    කැළණිය විශ්වවිද්‍යාලය

    ReplyDelete
  3. මමත් මේක අන්තිමට දැක්කේ ගාල්ලෙදි...දැන්නම් ඒකත් අයින් කරලා වගේ කියලා තමා කට්ටිය කියන්නේ...හරියටම දන්නේ නෑ....මරු ලිපිය වික්ස්....

    ReplyDelete
  4. වෙනදා වගෙම තමා පට්ට ලිපිය ......... ,

    ReplyDelete
  5. නියම ලිපියක්. ගොඩක් වටින තොරතුරු තියෙනවා.

    ReplyDelete
  6. වෙනද වගේම බොහෝම ස්තූතියි ලිපියට. S6 පෙනුමත් මේ වගේමයි නේද?

    ReplyDelete
  7. වෙනදා වගේම නියමෙට ලියල තියෙනවා. මේක දැකල ෆොටෝ ගත්තට කවදාවත් මේකක යන්න නොලැබුණ එක ගැන දුකයි. :( අන්තිමට දැක්කෙ ඔය ගාල්ලෙදි දැක්ක වතාවෙදි, 2005 ජූනි.

    Anonymous 1 : මං නම් හිතෙන විදිහට නලීන් අබේසිංහ මහතා අනවශ්‍ය පුදගලයෙක් නෙවෙයි, අත්‍යවශ්‍ය පුද්ගලයෙක්. ඔබතුමා නොදන්නවා කියලා අනිත් අයට කරන්න දෙයක් නෑනෙ. ගිය අවුරුද්දෙ ඔහු ලිව්ව පොත තමයි "ශ්‍රී ලංකාවේ ඩීසල් දුම්රිය", මේ පොත ආචාර්ය ප්‍රියත් බන්ධු වික්‍රම වැනි මහත්වරුන්ගේත් ගෞරවයට පාත්‍ර උනා.

    ReplyDelete
  8. මම මේ S3 කෝච්චියත් මේ දැක්කමයි :/

    ReplyDelete
  9. @සුසිත
    ඔබ මුලින්ම ලිපියක මේ ගැන සටහන් කරද්දි මම උපකල්පනය කලා ඔබ සටහන් කරන්න ඇත්තෙ මේ දුම්රිය ගැන වියයුතුයි කියලා. ස්තුතියි ප්‍රතිචාරයට.

    ReplyDelete
  10. @ Anonymous
    පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා ඔබගේ ප්‍රතිචාරයත් සමග ඔබේ නම මෙහි සටහන් කිරීම පිලිබඳව. සිරිසේන රාජපක්ෂ මහතා ලියන ලද පොත් පිලිබඳව මට අසන්නට ලැබුණත් ඒම පොත් පරිශීලනය කරන්නට මට අවස්ථාවක් තවම ලැබී නැහැ. මෙහිදි ඔබ සඳහන් කරන අකාරයට නලීන් අබේසිංහ සොයුරා අනවශ්‍ය ලෙස පිම්බීමක් මා කර නැති බව කිව යුතුයි. දුම්රිය පිලිබඳව අවධානයක් දක්වන මා වැනි ආධුනිකයන්ට සේම ප්‍රවීනයක්ටත් ඉතා වැදගත්, දුර්ලභ පින්තුර පවා ඇතුලත් පොත් පිංචක් ඔහු විසින් "ශ්‍රී ලංකාවේ ඩීසල් දුම්රිය" නමින් නිර්මාණය කර ප්‍රකාශනයට පත් කොට තිබෙනවා. එමෙන්ම මෙම ලිපි මාලාව ලිවීමේදී ඔහුගෙන් ලැබෙන සේවය අති මහත්. සැබැවින්ම මෙය තනිපුද්ගලයෙකුගේ කාර්යයක් ලෙස පෙනුනද මෙහි සාර්ථකත්වය පසුපස පුද්ගලයන් රාශියක් සිටිනවා. මෙහි යම් සාර්ථකත්වයක් වේ නමි ඒ පිලිබඳ හිමිවන ප්‍රශංසාව ඒ සියලු දෙනාටම ලැබිය යුතුයි. එබැවින් සුදුස්සාට සුදුසු වටිනාකම ලබා දීම අනවශ්‍ය පිමිබීමක් ලෙස මා විශ්වාස කරන්නෙ නැහැ. කෙසේ වුවත් මෙහි පැමිණ ඔබේ අදහස් සටහන් කිරීම පිළිබඳව නැවතත් ස්තුතියි. මෙය ඉදිරියට පවත්වාගෙන යාමට ඔබලාගේ අදහස් ඉතා වැදගත්.

    ReplyDelete
  11. @ මකුලුවා
    මේ වන විට සියල්ලම ධාවනයෙන් ඉවත් කර රත්මලාන පරිශ්‍රයට ගෙනවිත් තිබෙන බව තමා මටත් දැනගන්න ලැබුනෙ.

    @ Ano, මධුරංග, දොඩන්
    ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් ඔබලාට බෙහෙවින්ම ස්තුතියි.

    @ තුර්ය
    මට මතක විදියට මම එක පාරක් ගිහින් තියෙනවා. ඒත් S3 එකක්ද S6 එකක්ද කියල මට හරියටම මතක නෑ.

    ReplyDelete
  12. හැමදාමත් වගේ වටිනා තොරතුරු ටිකක්.

    ReplyDelete
  13. හැමදාමත් වගේම වටින ලිපියක්...ඉදිරිපත් කරණ ශෛලියත් ගොඩක් හොඳයි. විශේෂයෙන්ම ඔයාලට උදව් කරණ අය ගැන සඳහන් කිරීම ගොඩක් අගයනවා.
    තව උදව් කරන්න කැමති අයත් උදව් කරන්න.

    ReplyDelete
  14. හා ආයෙම එලියට ඇවිත් තියෙන්නේ. S3 ගැන නම් දැනගත්තේ අදමයි.
    ස්තූතියි චන්දික අපිට මේ නොදන්නා දේ අමාරුවෙන් හරි හොයල ගෙනත් දෙනවට

    ReplyDelete
  15. මම නම් මෙයින් එකක ගිහින් නෑ. ඒත් පාදුක්ක ස්ටේෂන් ඒකේදී දැක්ක වගේ මතකයි. අපි ඉතින් කොදච්චර යකඩයො දැක්කත් විස්තරය දැනගත්තේ මේ අඩවියෙන් තමා . එළ මචෝ දිගටම ලියමු....ආ..

    ReplyDelete
  16. වැදගත් ලිපියක්.
    නොදන්නා කරුණු ගොඩක් දැනගත්තා. බලවේග දුම්රියක් උඩරට මාර්ගයේ ධාවනය උනා කියල ඇහුවමයි.
    ජයවේවා..

    ReplyDelete
  17. හරිම වටිනව මේ බ්ලොග් එක! හැමදාම ආවොත් අලුතෙන් බොහෝ දේවල් දැනගෙන තමයි යන්නෙ. ඔබට බොහොම ස්තුතියි මෙවන් වටිනා බ්ලොග් එකක් කරනවට සහෝදරයා.

    අපි ඉස්කෝලෙ ගියේ ගාල්ල-අලුත්ගම ධාවනය වූ මේ ජාතියෙ දුම්රියක.දුම්රිය මැදිරි 3 යි තිබුනෙ. අපිනම් කියන්නෙ මේකට පාන් බාගෙ කියල :)

    ReplyDelete