Tuesday, October 26, 2021

L1 පටු ආමාන වාශ්ප එන්ජිම - උඩු පුස්සැල්ලාව දුම් රිය මාර්ගයේ නිත්‍ය කාර්ය තුරඟා

 

නුගේගොඩ රොබට් ගුණවර්ධන උද්‍යානයේ ස්ථාපිත කර තිබූ 203 දරණ එන්ජිම. 
1979 වසරේ රොබ් ඩිකින්සන් මහතා විසින් ගන්නා ලද සේයාරුවකි

ලංකාණ්ඩුවේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් පටු ආමාන දුම්රිය මාර්ග වලට දෙවෙනි වරට ආනයනය කරන ලද්දේ L1 පංතියේ දුම්රිය එන්ජින්ය. මෙම එන්ජින්, විශේෂයෙන්ම උඩ පුස්සැල්ලාව මාර්ගය සඳහාම සැලසුම් කර ඇත. 1902 සිට 1904 වසර දක්වාත් (L1, L1A) 1920 දී ත් (L1B) වශයෙන් කාණ්ඩ දෙකක් වශයෙන් මෙම එන්ජින් ආනයනය කර ඇත්තේ එංගලන්තයේ ශාප් ස්ටුවර්ට් සහ හන්ස්ලට් යන සමාගම් වලිනි. ශාප් ස්ටුවර්ට් සමාගමෙන් එන්ජින් හතරක්ද (L1A 120 – 123) , හන්ස්ලට් සමාගමෙන් එන්ජින් දෙකක්ද (L1 130, L1B 203)  වශයෙන් එන්ජින් හයක් ආනයනය කර ඇත.

ධාවන පංතිය                                           :  L1, L1A, L1B

ගෙන්වූ වර්ෂය                                         : 1903-1904, 1920

නිශ්පාදිත රට                                           : එංගලන්තය

සමාගම                                                   : Sharp, Stewart and Company, Hunslet Engine Company

එන්ජින් වර්ගය                                        : Steam Tank Engine (වාෂ්ප බල)

ඇක්සල් සැකැස්ම                                    : 0-4-2T

ඇක්සලය මත උපරිම බර                         : 7 Tons

වාෂ්ප සිලින්ඩර විෂ්කම්බය                       : 11 ½”

සිලින්ඩර ගනන                                        : 2

සිලින්ඩර පහර                                          : 14”

වෑල්ව් අනුව වර්ග කිරීම                             : Slide Valves                                                                                             

බොයිලේරු පීඩනය                                   : වර්ග අඟලට රාත්තල් 150

බොයිලෙරු වර්ගය                                     : Round top

හිස්ව ඇති විට එන්ජිමේ බර                         : 15 tons 19 cwts.

බෆර් අතර දුර                                             : 19’ 8 7/8”

උපරිම වේගය                                            : පැයට සැතපුම් 12

බර පන්තිය                                                : U

ගෙන්වූ එන්ජින් ගනන                               : 6 (120-123, 130, 203)

වර්ණය                                                     : කළු (ලංකාවේ සියළුම පටු ආමාන වාශ්ප එන්ජින් කළු පැහැතිය)

ඉන්ධන ධාරිතාව                                       : ගල් අඟුරු ටොන් 2, වතුර ගැලුම් 500

 

ලංකාවට ගෙන්වන ලද  පටු ආමන දුම්රිය එන්ජින් අතරින්, ඉතා මන්දගාමීම එන්ජන් වර්ගය L1 පන්තියේ දුම්රිය එන්ජින්ය. මේවායේ උපරිම වේගය පැයට සැතපුම් දොළහක්, එනම් පැයට කිලෝ මීටර් 19ක් පමණ වන අතර, ධාවනයේදී සාමාන්‍ය වේගය පැයට කිලෝ මීටර් 15 ක් පමණ වන බව සඳහන්. උඩ පුස්සැල්ලාව මාර්ගයේ නානු ඔය සහ රාගල අතර කිලෝ මීටර් 31 ක කොටස තරණය කිරීමට  මෙම එන්ජිමකට පැය 3ක පමණ කාලයක් ගත විය. උඩ පුස්සැල්ලාව මාර්ගය වේගය සඳහා සැලසුම් නොකරන ලද මාර්ගයක් වූ අතර, ඇතැම් විට එන්ජින් දෙකක් ඈඳා භාවිතා කර ඇත. මෙලෙස, ඈඳුම් සහිතව ධාවනය කරන ලද එකම පටු ආමාන එන්ජිම ලෙස සැලකෙන්නේද L1 පන්තියේ එන්ජින්ය. 

තවද, පටු ආමාන වාශ්ප එන්ජින් අතරින් බොගී නොමැති එකම එන්ජිම වන්නේද L1 පන්තියේ එන්ජින්ය. (H1 පංතියේ පටු ආමාන ගැරට් එන්ජිමේ ද බොගී නැතත්, එහි සැකිල්ලේ නම්‍යතාවය සලසන සන්ධි දෙකක් ඇත.) උඩු පුස්සැල්ලාව මාර්ගය 1948 දී වසා දමන තුරුම, 122 සහ 123 එන්ජින් හැර අනෙකුත් එන්ජින් ධාවන තත්වයේ තිබී ඇත. දෛවෝපගත ලෙස, නුවර එලියේ සිට නානු ඔය දක්වා අවසාන බඩු දුම්රිය රැගෙන විත් ඇත්තේ අංක 120 දරණ එන්ජිමයි.

 උඩු පුස්සැල්ලාව මාර්ගය වසා දැමීමෙන් පසු, සියළු L1 පන්තියේ එන්ජින් කැලණි වැලි මාර්ගයට අනුයුක්ත කරන ලදී. එසේ වුවද, මෙම එන්ජින් වල අඩු ධාවන වේගය හේතුවෙන්, සමාන්‍ය මඟී හෝ බඩු දුම්රිය ධාවනය සඳහා යොදාගෙන නැත. අංක 203 දරණ අවසන් එන්ජිම හැර අනෙකුත් සියළුම එන්ජින් උඩ පුස්සැල්ලාව මාර්ගය වසා දැමූ සමයේම භාවිතයෙන් ඉවත් කර ඇත. 203 දරණ එන්ජිම, දිගු කලක් දෙමටගොඩ හා මරදාන දුම් රිය අංගනයන්හි සැහැල්ලු මෙහෙයුම් කටයුතු සඳහා යොදවා, 1974 දී පමණ භාවිතයෙන් ඉවත් කර ඇත. එය, 1979 දී නුගේගොඩ රොබට් ගුණවර්ධන ලමා උද්‍යානයේ ආකර්ෂණය වැඩි කිරීම සඳහා එහි පිහිටුවන ලදී. කාලයක් තිස්සේ අත් හැර දමා තිබූ මෙම වටිනා එන්ජින් යන්ත්‍රය, පසු කාලීනව රත්මලානේ ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයටත් (CGTTI), පසුව රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලා පරිශ්‍රයටත් රැගෙන ගොස්, රූපමය වශයෙන් ප්‍රතිසංස්කරණය කර, 2019 වර්ෂය දක්වා ප්‍රදර්ශණයට තබන ලදී. 2019 වසරේ, මෙම එන්ජිම කොලඹ දුම්රිය කෞතුකාගාරය වෙත භාර දෙන ලදුව, මුල් උඩ පුස්සැල්ලාව ආකෘතියට ප්‍රතිසංස්කරණය වෙමින් පවතී.

සටහන: රසික වික්‍රමනායක. (මෙම ලිපිය පිලිබඳ සම්පූර්ණ අයිතිය කතෘ සතු වේ.)


ඡායාරූප

නුවර එළිය දුම් රිය ස්ථානයේ නවතා ඇති L1 130 එන්ජිම සහිත දුම්රියක්. 
[Mrs G.M. Hardy, Feb/Mar 1935, now in L.A. Nixon Collection]

නුවර එළිය සහ රාගල අතර කොටසේ ධාවනය වන පන්තියේ එන්ජිමක් සහිත මිශ්‍ර දුම්රියක්. 
දිනය නොදනී. [Richard Pelham Collection]

නුගේගොඩ රොබට් ගුණවර්ධන උද්‍යානයේ ස්ථාපිත කර ඇති 203 දරණ එන්ජිම. 
1979 වසරේ රොබ් ඩිකින්සන් මහතා විසින් ගන්නා ලද සේයාරුවකි.

අංක 203 දරණ එන්ජිම රත්මලාන දුම්රිය කර්මාන්තශාලා පරිශ්‍රයේ ස්ථාපනය කර තිබූ සමයේ. 
ඡායාරූපයේ අයිතිකරු නොදනී.

කොලඹ දුම්රිය කෞතුකාගාරයේ සංරක්ෂණය වෙමින් පවතින අංක 203 දරණ එන්ජිම.


6 comments:

  1. මේ එන්ජින් වල මුල් කාලෙ කාබයිඩ් ලාම්පු වලිං තමා ආලෝකය අරගෙන තියන්නෙ (ඔය ෆොටෝ වලිං එකක එහෙම එන්ජිමක් තියනවා). පස්සෙ විදුලි ආලෝකය දීල තියනවා. ධාවනයෙ දි මේකක ට මැදිරි 4ක් වගේ තමා අදින්න පුලුවන් වෙලා තියන්නෙ. රාගල ඉඳං උඩ ට එන කෝච්චිය සමහර වෙලාව ට අදින්න බැරුව නතර වෙනව ලු මේ එන්ජිම ට.
    මේකෙ කප්ලිං එකත් කැළණිවැලි මාර්ගයේ එක ට වඩා ටිකක් වෙනස් (කැළණිවැලි සර්විස් දාපු කාලෙ වෙනස් කරන්න ඇති).

    ReplyDelete
  2. ගොඩක් වටින පෝස්ට් එකක්.....

    ReplyDelete
  3. බොහොමත්ම ස්තූතියි මහෙමවත් අපිව මතක් උනාට! හැමදාම වගේම ඔබ (උඹ) ලියන්නේ ඇඟ පුරා දුවන එකක්ම තමයි! මට නං හිතා ගන්නට බෑ අපි මේ යකඩ ගොඩට මෙච්චර ලව් ඇයි කියලා!?

    ReplyDelete
  4. කාලෙකට පස්සේ ලිව්ව එක ගැන සතුටුයි. ලංකාවේ භාවිතා වූ දුම්රිය මැදිරි සහ බලවේග කට්ටල ගැනත් ලියන්න පුළුවන්ද ?. ඔබේ සටහන් ආසාවෙන් කියවනවා.

    ReplyDelete
  5. වරාය ඇතුලේ වරාය අධිකාරියට අයත් ශන්ටින් එන්ජින් දෙකක් නිකං දිරාපත් වෙනවා. තවත් ගල් අගුරු දුමිරිය එන්ජිමක් හා දිරාපත්වන්නට දමා තිබෙනා වාෂ්ප බලයෙන් වැඩ කරනා දුම්රිය දොඹකරයත් වරාය සතුව තියේනවා.

    ReplyDelete