Monday, November 07, 2011

෴S8 බලවේග දුම්රිය - ජපන් කොරියන් සුසංයෝගයෙන් බලගැන්වූ, මෙරට සාර්ථකම බලවේග දුම්රිය෴

        මෙරට දුම්රිය ඉතිහාසයේ ස්වර්ණමය යුගය 60-80 අතර යුගය බව ඔබ මෙහිදී කිහිප වරක් කියවන්නට ඇත. එම කාලය තුල මෙරට දුම්රිය මාර්ගයන්ට විවිධ ආකාරයේ දුම්රිය කට්ටල සහ එන්ජින් විශාල ප්‍රමාණයක් එකතුවිය. එම යුගයේ අවසාන භාගයේදි, එනම් වර්ෂ 1989 දී මෙරට දුම්රිය මාර්ගවලට තවත් ඉතා විශිෂ්ඨ දුම්රිය කට්ටල වර්ගයක් හඳුන්වා දෙන ලදී. S8 ධාවන පන්තිය යටතේ වර්ග කර ධාවනයට එක්කරන ලද මෙම දුම්රියේ තාක්ෂණික සහ ඇතැම් තොරතුරු කිහිපයක් පහත දැක්වේ.
  • දුම්රිය පන්තිය             - S8
  • ගෙන්වූ වර්ෂය                - 1989
  • නිශ්පාදිත රට - ජපානය ("HITACHI") + කොරියාව ("HYUNDAI")
  • දුම්රිය එන්ජින් වර්ගය    Diesel Hydraulic
  • බල සැපයුම් එන්ජිම -  MTU 12V396TC13
  • උපරිම බලය -  1413hp - 1800RPM
  • උපරිම වේගය -  88 kmh
  • එලැවුම් මැදිරියේ දිග      -  65 feet
  • Axel Arrangement -  B-B
  • එලැවුම් මැදිරියේ බර -  ටොන් 70
  • වර්ණය  - තැඹිලි, සුදු සහ රිදී පැහැය
  • දුම්රිය කට්ටල ගණන  -  20 (No 821-840) 


    S8 වර්ගයේ දුම්රියක එන්ජින් මැදිරිය වරායෙන් ගොඩබෑම
    ඡායාරූපය- අකිල ආරියප්පෙරුම
            ඔබට මෙම දුම්රිය නම් ඉතා හුරුපුරුදු එකක් බව අමුතුවෙන් කිව යුතු නැත. මෙම S8 දුම්රියන් මෙරටට ගෙන එන්නේ S7 දුම්රිය හඳුන්වා දී වසර 12කට පසුවය. ඒ වන විට මෙරට දුම්රිය ක්ෂේත්‍රය, "එන්ජින් ඈඳූ දුම්රියන්" සමග "බලවේග දුම්රියන්" කරට කර ධාවනයක යෙදී තිබුණු යුගයයි. බලවේග දුම්රිය බලඇණිය සවිමත් කිරීමේ අරමුණින් මෙම වර්ගයේ දුම්රිය කට්ටල 20ක් මෙරටට ගෙන්වන ලදී. මෑත ඉතිහාසයේ මෙරටට හඳුන්වාදුන් බලවේග දුම්රියන් අතුරෙන් වඩාත්ම සාර්ථක බලවේග දුම්රිය මාදිලිය වන්නේ මෙම S8 වර්ගයේ දුම්රිය මාදිලිය බව බොහෝදෙනා අවිවාදයෙන් පිලිගන්නා කරුණකි. මෙම දුම්රිය කට්ටල කරුණු ගණනාවක් නිසා සුවිශේෂ වේ. එන්ජිම සහිත එලැවුම් මැදිරියකින්, එන්ජිම රහිත එක් එලැවුම් මැදිරියකින් සහ මගී මැදිරි 3කින් එක් දුම්රිය කට්ටලයක් සමන්විත විය.

    බලසැපයුම් එන්ජිම
    ඡායාරූපය- අකිල
            S5 බලවේග දුම්රියට පසුව සම්පුර්ණ දුම්රිය කට්ටලයම විදේශිය රටක නිපදවා ආනයනය කර ඇත්තේ මෙම S8 දුම්රිය කට්ටලයන්ය. ජපන් තාක්ෂණයෙන් සැකසුනු මෙම දුම්රිය නිපදවීමට ජපාන HITACHI සමාගම සමග කොරියානු HYUNDAI සමාගමද එක් වී ඇත. (තවත් තිබුණත් විවාදයන්ට තුඩුදීමට ඉඩ ඇති බැවින් මෙහි සටහන් නොකරමි.) විශේෂයෙන් එහි ඇති සුවිශේෂි බලවත් MTU 12V396TC13 ජර්මානු බල සැපයුම් එන්ජිම නිසා එහි ඇති ත්වරණ බලය (Acceleration Power) ඉතා අධිකය. එබැවින් එය මෙරට මාර්ගයක ධාවනය වන බලවේග දුම්රියන් අතුරෙන් වැඩිම එන්ජින් බලයක් සහිත බලවේග දුම්රිය කට්ටලයද වේ. වැඩි මගීන් ප්‍රමාණයක් සහිත අවස්ථාවලදී වුවද ඉතා සුලු කාලයක් තුල ත්වරණය කර නියමිත වේගයට එලඹිමේ සුවිශේෂ හැකියාව එය සතුය.
              තවද මෙම දුම්රිය එකවර දුම්රිය කට්ටල දෙකක් හෝ වැඩිගණනක් එකට ඈඳා (Multiple Units) ධාවනය කිරීමේ හැකියාවෙන්  යුක්ත වන අතර එසේ ධාවනයේදී කට්ටල දෙකේම එන්ජින් පාලනය කරමින් ධාවනය කිරීම එක් රියදුරෙකුට එක එන්ජින් මැදිරියක් තුලදී සිදුකල හැකිය. මේවා බොහෝ විට මගී තදබදය වැඩි අවස්ථා වලදී දුම්රිය කට්ටල දෙකක් එකට ඈඳා (Double set) ධාවනය කරනු දැකිය හැකිය.

    වැඩි මගීන් ප්‍රමාණයක් ගෙනයාමට
    සකසා ඇති මැදිරි
           විශේෂයෙන් කාර්යයාලීය දුම්රිය සේවාවන් සඳහා මෙම දුම්රියන් වැඩි වශයෙන් භාවිතා කරන අතර කෙටිදුර ධාවන දුම්රියන් සඳහාද නොඅඩුව භාවිතා කරන දුම්රියකි. විශේෂයෙන් වන්දනා සමයන්හිත්, පිච්චමල් පුජාව ආදී අවස්ථා වල විශේෂ දුම්රියන් ලෙස අනුරාධපුරය දක්වා ආදී දුර ගමන් සඳහා පවා මෙම දුම්රියයන් මෑත වකවානුවේදීත් යොදවා තිබුණි. එසේම උඩරට මාර්ගයේ මහනුවර දක්වා පරීක්ෂණ ධාවනයක් සිදු කල මෙම S8 දුම්රිය කට්ටල ඊට පසුව පවා විශේෂ අවස්ථා කිහිපයකදි මහනුවර දක්වා ධාවනය කර ඇති බව කියවේ. ඒ අනුව සලකා බැලුවහොත් මෙම දුම්රියන් ධාවනය කර නොමැති මාර්ගයන් වන්නේ මාතලේ මාර්ගය, උතුරු මාර්ගයේ අනුරාධපුරයෙන් ඉහල කොටස සහ උඩරට මාර්ගයේ පේරාදෙණිය -බදුල්ල කොටස පමණි.  අනෙකුත් සියලු මාර්ගවල S8 බලවේග දුම්රියන් නිරන්තරයෙන් ධාවනය කෙරේ. 
    මැදිරි දෙකකට කප්ලිම(Coupler) හරහා වැඩි
    කෝණයකින් හැරීමට හැකියාව ඇත
    .
     
              එම මාර්ග අතුරෙන් කැලණිවැලි මාර්ගයේ ඔටුනු නොපලන් රජු ලෙස මෙම දුම්රියන් හැඳින්වීම වරදක් නැත. එයට හේතුව වන්නේ එම මාර්ගයේ ධාවනය වන දුම්රියන් වලින් 75%ක් පමණ මෙම වර්ගයේ දුම්රියන් වීමය. අනෙකුත් වර්ගවල දුම්රියන් කැලණිවැලි මාර්ගයේ ධාවනය කිරීමේදී විවිධ ගැටලු පැන නැගුනද මෙම S8 වර්ගයේ දුම්රියන් කිසිදු ගැටලුවකින් තොරව කැලණිවැලි මාර්ගයේ ගමන් කරවීමට හැකිය. එයට විශේෂ හේතුවක් ලෙස දැක්විය හැක්කේ මෙම දුම්රියේ මැදිරි දෙකක් අතර මාරු වීමේ පහසුකම නොමැති බැවින් මැදිරි දෙකකට කප්ලිම(Coupler) හරහා වැඩි කෝණයකින් හැරීමට ඇති හැකියාවයි. කැළණිවැලි මාර්ගයේ ඇති තියුණු වංගු සඳහා එය අතිශයින් ප්‍රතිඵලදායකය.


            මෙරට මාර්ග සඳහා හදුන්වා දුන් පසු පසුගිය වසර 22කට ආසන්න කාලය තුල මෙම බලවේග දුම්රියන් ධාවනය කල සම්පුර්ණ දුර සලකා බැලුවහොත් බලවේග දුම්රිය පන්ති අතුරෙන් වැඩිම ධාවන දුර ප්‍රමාණයක් සඳහා වන වාර්තාව හිමිවන්නෙ මෙම S8 දුම්රියන් සඳහාය.
    S8 ඉදිරිපස මුහුණ වරින් වර වෙනස්වූයේ මෙසේයි
            මෙරටට ගෙන ආ දුම්රිය කට්ටල 20න් අදටත් දුම්රිය කට්ටල සියල්ලම පාහේ ධාවනය වන අතර ඒවා තවමත් තම නිහඬ සේවට මගී ජනතාවට සපයයි. මෙම වසර 22ක කාලය තුල මෙම දුම්රියන් වල විශාල වෙනස්කම් සිදු වී නොමැති වුවත් විවිධ අවස්ථාවලදී එහි මුහුනතේ වෙනස්කම් කිහිපයක් සිදුකර ඇත. ගෙන්වූ කාලයේ එහි තිබු ගමනාන්ත පුවරු දැක්වෙන කවුලු පසු කලෙක ඉවත් කර ඇති අතර මේ වන විට ඇතැම් දුම්රිය කට්ටල සඳහා අමතර විදුලි පහනක් ඉහල කොටසේ සවි කර ඇත. මේවායේ නියම සැකැස්මේ ඉදිරි මග දක්වන විදුලි පහන් ඇත්තේ බඳෙහි පහල කොටසේය. රාත්‍රී කාලයේදී ධාවනය කරන විට රියදුරාට දුම්රිය පාලන සංඥා පැහැදිලිව දැක ගැනීමට පහසු වන පරිදි මෙසේ අමතර විදුලි පහනක් සවි කර තිබේ. 


            එසේම කලක්, දුර ගමන් සඳහා යොදන S8 දුම්රියන් සඳහා රුමේනියානු මැදිරියක් එක්කර තිබිණි. මගින්ට සනීපාරක්ෂක පහසුකම් සැලසීම එහි අරමුණ විය. (S8 දුම්රිය වල සාමාන්‍ය මැදිරි වල වැසිකිලි ආදී සනීපාරක්ෂක පහසුකම් නොමැත.) එබැවින් එම පහසුකම් සහිත රුමේනියානු මැදිරියන් මෙම දුම්රිය කට්ටල වෙත එකතුකරන ලද අතර ඒ එම රුමේනියානු මැදිරි සඳහා වායු තිරිංග (Air Brake) උපක්‍රම යොදන ලදී. එම මැදිරි  S8 වර්ණ සංකලනයෙන් යුතුව වර්ණ ගන්වා තිබේ. 
               තම සේවා කාලය තුල මෙම S8 වර්ගයේ දුම්රියන් විවිධ උවදුරු රාශියකට මුහුණ පා තිබේ.

    •  1998 වසරේදී (2011 අලව්වේ S11 අනතුර ආකාරයටම) වේයන්ගොඩ ආසන්නයේදී (බුජ්ජොමුව) සේවා දුම්රියක් හා ගැටීමෙන් සිදුවූ අනතුරේදී  තිබූ දුම්රියක් මග නතර වී තිබූ විට පසුපසින් පැමිණි S8 දුම්රියක් එහි හැපීමෙන් S8 දුම්රියේ එන්ජිම රහිත එලැවුම් මැදිරිය (Dummy cab) විනාශ විය.
    • 1998 වසරේදීම මීරිගම ආසන්නයේදී සිදුවු පීලි පැනීමකින් මැදිරි කිහිපයක් අනෙක් මාර්ගයට පෙරලී යාම නිසා එම මොහොතේම කුරුණැගල සිට පැමිණි S8 දුම්රියක් එම එක් මැදිරියක ගැටීමෙන් එම S8 දුම්රියේ එන්ජිම රහිත එලැවුම් මැදිරියද (Dummy cab) විනාශ විය.
             එසේම රත්මලානේදීද S8 වර්ගයේ දුම්රියක් අනතුරට පත් වූ අතර දෙහිවලදී S8 දුම්රියක බෝම්බයක්ද පුපුරා ගියේය. විවිධ කාල වල සිදුවු යම් යම් දුම්රිය අනතුරු වලදී අලුත්වැඩියා කලනොහැකි තත්වයට පත්වීම නිසා එන්ජිම රහිත එලැවුම් මැදිරි සහ මගී මැදිරි කිහිපයක් වරින් වර ධාවනයෙන් ඉවත්කර තිබේ.
            මේ සියලු අනුව බලන කල S8 යනු මෙරටට ගෙන්වූ සාර්ථකම බලවේග දුම්රිය බවට කිසිදු සැකයක් නොමැත. 
    මෙහි සඳහන් තොරතුරු සහ ඡායාරූප ලබාදීම වෙනුවෙන් නලීන් අබේසිංහ, එස් ලීලාරත්න, අකිල ඉන්දීවර යන මහත්වරුන්ට විශේෂ ස්තුතිය.


    ඡායාරූප:-
    S8 වර්ගයේ දුම්රියක විඩියෝ දර්ශණයක්

    ගමනාන්ත පුවරු සහිතව ධාවනය වන මුල්කාලීම S8 දුම්රියක්
    S8 රියදුරු කුටිය
    ඡායාරූපය:- අකිල ආරියප්පෙරුම
    වෙළඳ ප්‍රචාරණ කටයුතු සඳහා දුම්රිය යොදාගැනීම
    Union Bank අනුග්‍රහයෙන් වර්ණ ගැන්වූ S8 දුම්රිය
    2011 පොසොන් වන්දනා - මිහින්තලේ දුම්රිය සඳහා S8 වර්ගයේ
    දුම්රියක් ධාවනය කිරීම.
    පුත්තලම මාර්ගයේ ධාවනය වන අවස්ථාවක්

    කොටුව රඹුක්කන මන්දගාමී දුම්රිය
    පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී
    කාර්මික දෝශයකට ලක්වූ S8 වර්ගයේ ද්විත්ව දුම්රියක්
    S9 වර්ගයේ දුම්රියක් මගින් තල්ලු කරන අවස්ථාවක්
    S8 ද්විත්ව දුම්රිය කට්ටලයක පසුපස එන්ජින් මැදිරිය 
    යාගොඩ දුම්රිය ස්ථානයේදී
    රාගමට ලඟා වෙන S8 දුම්රියක්
    මීරිගමදී සිදුවූ අනතුර
    ඡායාරූපය අනුග්‍රහය:- අකිල ආරියප්පෙරුම
    අංක 824 එන්ජිම සහිත එලැවුම් මැදිරිය සම්පූර්ණ අලුත්වැඩියාවක
    ඡායාරූපය:- අකිල ආරියප්පෙරුම
    වැඩ අවසන් කරමින් පවතින අලුත්වැඩියාවක්
    ඡායාරූපය:- අකිල ආරියප්පෙරුම
    අන්තර්ජාලයෙන් ලැබුණු තවත් ඡායාරූපයක්

    40 comments:

    1. මෙයත් ඉපදිලා තියෙන්නේ මගේ අවුරුද්දෙමයිනේ...:)
      ඒ කියන්නේ අපේ ඇහැ වැඩිපුරම ගැටෙන දුම්රියක්නේ.

      ReplyDelete
    2. මොනව ගෙන්නුවත් තාම හරියට දුවන්නෙ මේ පවර් සෙට් විතරයි. චීනෙන් ගෙන්නපුව හැමදාම කැඩෙනව. අපි සතියට දවස් 3ක් වත් අඩුම ගානෙ පාරෙ.

      ReplyDelete
    3. බොහොම වටින හොයාගන්න අමාරු තොරතුරු බොහෝමයක් උඹේ මේ බ්ලොග් එකේ තියෙනවා මචං.
      ඇත්ත, මේ කේෂේත්‍රය සම්බන්ධ උනන්දුව අඩු නිසාම මම උනත් මේ දේවල් වැඩිය කියවන්නේ නෑ තමයි. ඒ ගැන සමාවෙයන්!
      ඒ උනත් මේ තොරතුරු බොහොම වටින බවනම් මට විශ්වාසයි. ඒ හන්දා මේ දේවල් දිගටම ලියාගෙන යමු! පුළුවන් වෙච්චි දවසල මේ තොරතුරු සයිබරෙනුත් එහාට ගෙනියන්න උත්සාහ කරපන්...

      ReplyDelete
    4. හලේ අමතක වෙන්නේ නැහැ මේ කෝච්චි නං....... අපි ඉස්කෝලේ ඉඳන් ආවේ මේ වගේ කෝච්චියක. ඒක ඩබ්ල් සෙට් එකක්. දවල් 2.20ට තමයි ඒ දවස් වල මරදානට එන්නේ. ඒකට මැදින් අනිත් වර්ගයේ පෙට්ටි දෙකක් ඈඳලා තිබුනා. ඒකට කියන්නේ අජා පෙට්ටි කියලා.

      ReplyDelete
    5. චන්දික එතකොට මම කීප තැනක දැක්ක අලව්ව අනතුරට භාජනේ වුනේ ඉන්දියාවෙන් ගෙන්නපු දුම්රිය එන්ජිමක් කියල. ඒක වැරදි තොරතුරක්ද?

      ReplyDelete
    6. This comment has been removed by the author.

      ReplyDelete
    7. අඩේ මේක මෙච්චර වටී කියලා දන්නෙ අද , මං හිතුවේ හෙන කබලක් කියලා බලනකොට සුපිරි භාණ්ඩයක් නෙ.................

      ReplyDelete
    8. හික්.. මමත් වැඩිපුරම ගිහින් තියෙන වාහනේ.. :D එල ලිපියක් මචං..

      ReplyDelete
    9. මේ බ්ලොග් එක හැමදාම හොඳයිනෙ. Observer ට මම හිතන්නෙ පොඩ්ඩක් පැටලිලා. මේ මල්ලි කියන්නෙ අලව්වෙ අනතුර වගේ කියලා නේද? කොහොම හරි ස්තුතියි තොරතුරු වලට. ඒ වගේ මේ දුම්රය විතරයි දැනට වෙලාවට එන එක (මුහුදුබඩ මාර්ගයේ) ඒ වගේම ඔයා කිවිවා වගේ මේ ළඟ පිකප්.

      ReplyDelete
    10. මෙයාට කියන්නේ හූනා කියලනේ. දිනපතා මරදාන - ගාල්ල දුවන double set එකෙත් මෙයාල දෙන්නෙක් නේ.

      @observer
      නැතෝ නැතෝ මේ කියන්නෙ 2011 වෙච්ච accident එක ගැන නෙමේ.

      ReplyDelete
    11. චන්දික ස්තුතිය් ඊයට
      පෝස්ට් එක ආයෙමත් කියෙව්ව, ඉස්සෙල්ල පාර පොඩ්ඩක් මිස් වෙලානෙ.

      ReplyDelete
    12. This comment has been removed by the author.

      ReplyDelete
    13. කෝච්චිය නම් සුපිරි තමා...
      ඒත් පෙට්ටි නම් දැන් අජ...පල්...
      ගන්න දෙයක් නැහැ..
      හදිස්සියෙවත් footboard යන්න වුනොත් අල්ලගන්න වත් තැනක් නැහැ.. හි හි.. :P

      ReplyDelete
    14. අර මීරිගමදි සිදුවෙච්ච අනතුර කියලා කියන්නේ යත්තල්ගොඩ හරියේ වෙච්ච අනතුරද ? අර තාමත් කෝච්චි පෙට්ටි කැලේට දාලා තියෙන්නේ.

      ReplyDelete
    15. නියමයි හරිම වටිනවා මේ විස්තර.

      ReplyDelete
    16. nනියමයි පුතා.. හැමදාමත් වගේ නොදන්නා ගොඩක් එව්වා දැනගත්තා..

      ජය...

      ReplyDelete
    17. නිවැරදි කිරීමක්
      "වේයන්ගොඩ ආසන්නයේදී (බුජ්ජොමුව)"
      අලව්ව ආසන්නයේදී (බුජ්ජොමුව) විය යුතුයි.

      ReplyDelete
    18. වටිනා ලිපියක්
      හැමදාම උදේ හවස කොටා පාර දුම්රිය හරස් පාරේදී මෙයාව දකිනවා.
      ඒවගේම ගොඩක් සෙනගකුත් මේකෙන් ගමන් පහසුකම් සපුරාගන්නවා.

      ReplyDelete
    19. නියමයි මචං.. හැමදාමත් වගේ නියම තොරතුරු ටිකක්

      ReplyDelete
    20. සතුටුයි ඔබ වෙනදා වගේම දුර්ලභ තොරතුරුත් රැගෙන නැවත පැමිණීම ගැන.
      ඒ වගේම S8 හි ඇත්තේ ඩීසල් ද්‍රාව පීඩක (Diesel hydraulic) පද්ධතියක්.

      ReplyDelete
    21. මට නම් පේන්නම බැරි කොච්චියක්.. විශෙෂයෙන්ම පාට.. උඹ ඔකේ වැඩට ගියොත් පෙන්ට් එකක් ගහලා මූන පොඩ්ඩක් මොඩිෆයි කරලා ගනින් :D

      ReplyDelete
    22. සිරා තොරතුරු ටික... බොහෝම ස්තුතියි...

      ReplyDelete
    23. මම මේ බ්ලොග් එක බුක් මාක් කරලා පළවෙනි එකේ ඉඳලා පිළිවෙලින් කියවාගෙන එනකොට මගෙ ලැප්ටොප් එක ක්‍රැෂ් වුනා. බුක් මාක් ඔක්කොම ගියා. මේ බ්ලොග් පෝස්ට් වලට දාන්න කොමෙන්ට් නෑ. ඒ තරම් ගති. කෝච්චිය මගෙත් ප්‍රියතම දේවල් වලින් එකක්.
      henryblogwalker the Dude

      ReplyDelete
    24. S9 ගැනත් ඉක්ක්මනටම ලියන්නකො...

      ReplyDelete
    25. sri lankawe diesel dumriya - Nalin Abesinghe ge potha ganna thanak kiyannako.....!!!!!!!!!!!!!!!!!

      ReplyDelete
    26. @Chira: දැනට නම් ඒ පොතේ පිටපත් සියල්ල විකිණී අවසන් මම දන්නා තරමින්. සමහර විට පිටපතක් දෙකක් සොයාගන්න පුළුවන් වෙන්නත් බැරිකමක් නෑ.

      ReplyDelete
    27. කාලෙකට පස්සේ චන්දික post බලන්න ලැබුනේ...s8...මට හිතෙන විදිහට දුම්රිය දෙපාර්තුමේන්තුවේ හදවත. පහුගි‍ය කාලේ අවුල් අඩුවෙන්ම තිබුනේ s8නේ. මල්ලී ‍ඔය වර්ගයේ එන්ජින් වල බලය රෝද වලට ගෙනියන්නේ propeller shaft එකකින් ද? මම එහෙම දැක්කා වගේ මතකයි. ඒක එහෙම නම් අනෙක් ඒවට වඩා විශේෂත්වයක් නේද?

      ReplyDelete
    28. http://www.elakiri.com/forum/showthread.php?t=1176278

      ReplyDelete
    29. @නndanන: මේ පහත තියෙන චන්දිකගේ ලිපිය කියවල බලන්නකෝ. අපේ දුම්රිය සේවයේ වැඩ කරන සියලුම එන්ජින් ක්‍රියා කරන හැටි මේකේ සටහන් වෙලා තියෙනවා.

      S8 කියන්නේ ඩීසල් හයිඩ්රොලික් ක්‍රමයට වැඩ කරන එන්ජිමක්. එහි එන්ජිමෙන් ජනනය වන බලය රෝද වලට ගෙනියන්නේ Toque Converter එකක් හරහා.

      ReplyDelete
    30. වැඩිපුරම ආව ගිය කෝච්චියක් තමා මේ ඇස් 8. මේකෙ එන්ජිම නැති අනිත් මැදිරි වලට තට්ටුවක්දැම්මම ඇත්තම ඩ්‍රමක් ගහනවා වගේමයි. ස්කූල් බස් එකට පස්සෙ වැඩියෙන්ම අපි සිංදු කිව්වෙ මේ කෝච්චියෙ තමයි. :))

      ReplyDelete
    31. ඕකට අපේ පැත්තෙ කියන්නෙ "මලකඩ කුමාරයා" කියල. මං යන්න කැමති නෑ ඔව්වල. පෙට්ටි අතරෙ මාරු වෙන්න බැරි නිසා. හිටපු කෙලගෙන ගිහිං ස්ටේශන් එක ලංවෙලා බ්‍රේක් ගහනව හය්යෙන්. මල පනිනව එතකොට

      ReplyDelete
    32. ඇත්තටම හොද දුම්රියක් තම මේක එන්ජිමත් සුපිරි හැබැයි මැදිරිනම් අලුත් වැඩියා කරලා තියෙනවා අන්තිමයි, වැස්ස දවස්වලට කුඩයක් ඉහලාගෙන තමා ඇතුලේ යන්න වෙන්නේ. දොරවල් වහෙන්නෙත් නෑ ඒ අඩුපාඩු හැදුවනම් නියමයි

      ReplyDelete
    33. (කාර්මික දෝශයකට ලක්වූ S8 වර්ගයේ ද්විත්ව දුම්රියක්
      S9 වර්ගයේ දුම්රියක් මගින් තල්ලු කරන දුර්ලභ අවස්ථාවක්)
      ඒ පොටෝ එකනම් දුර්ලබ අවස්ථාවක් වෙන්න බෑ මොකද සතියකට දෙපාරක් තුන් පාරක් විතර ඔය වැඩේ වෙනවා

      ReplyDelete
    34. S8 තමයි තාමත් ලංකාවේ අංක 1 දුම්රිය.ඒ ගැන ආයේ කතා 2ක් නෑ.කැලණිවැලියේ දුවන S12 සහ S8 ගත්තොත් S8 දාල තියෙන දුම්රියන් නියමිත වෙලාවටම පැමිණෙනවා.ඒ වගේම තමයි මේක ළඟ පිකප් හින්දම මන්දගාමී දුම්රියන්වලට දාන්නේ.එළ ලිපියක් කොච්චියා.S12 ගැනත් ඉක්මනට දාමු...

      ReplyDelete
    35. මේ දුම්රියක් මාස කීපයක් නුවර-නාවලපිටිය අතර ධාවනය වුනා මතකයි.

      ReplyDelete
    36. කැළණිවැලි මාරගයේ වීරයා. අවුරැදු 26 උනත් තාමත් හොද සේවාවක් ඉටු කරනවා.

      ReplyDelete
    37. කැළණිවැලි මාරගයේ වීරයා. අවුරැදු 26 උනත් තාමත් හොද සේවාවක් ලබා දෙනවා.

      ReplyDelete
    38. 833 ape train eka 6.58 gampaha enawa

      ReplyDelete
    39. ambe e brake para hena gahuwa wage.pattama asa bandayak.nikamatawath waradila duwala train eka allagannawa kiyanne pissu hadenawa.(allaganna ba)

      ReplyDelete